ඩෙංගු මදුරු කීටයන් නැසීමට විෂ රහිත තිරසර ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) –ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමට යොදාගත හැකි හරිතප්‍රද (ක්ලෝරොපිල්) විෂ රහිත තිරසර ක්‍රමවේදයක් හඳුන්වා දීමට ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන මහාචාර්ය ඩෝනාට් පීටර් හේඩර් මහතා සමත් වේ.

ඔහු පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මුණගැසී මේ පිළිබඳව දැනුවත් කර තිබේ.

ඒ අනුව ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය කියා සිටියේ දැනට සිදු කෙරෙන මදුරු මර්දන ක්‍රමවේදය සහ මෙම ක්‍රියාවලිය බොහෝ වෙනස් බවයි. සාමාන්‍යයෙන් මදුරුවන් මර්දනයේදී කෙරෙන්නේ‍ මදුරු කීටයාට විෂ සහිත රසායනික සංයෝගයක් යෙදීම වන අතර එමඟින් මදුරු කීටයාට පමණක් නොව පරිසරයේ අනෙකුත් ක්ෂද්‍රජීවීන්ටද එය විෂ වී ඔවුන්ද විනාශ වන වේ. එමඟන් සත්වයෙකුට හෝ දරුවෙකුට වුවද බලපෑමක් විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා එම මදුරු මර්දන කටයුතු සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය නොකරන නිසා අධික මිලක් දැරීමට සිදු වන බවද සඳහන් කරයි. නමුත් හරිතප්‍රද මඟින් සිදු කෙරෙන මෙම ක්‍රමවේදය තිරසාර ක්‍රමවේදයකි. මේ සඳහා යොදාගන්නා ක්ලෝරොෆිල් ශ්‍රී ලංකාව තුළ බහුලව ඇත. එනිසා ක්ලෝරොෆිල් බෝගවලින්ම ලබා ගත යුතු නොවන බවත් තණකොළ, කෙසෙල් කොළ වැනි දේ තුළින්ද ඒවා ලබාගෙන සරල රසායනික විද්‍යාත්මක ක්‍රියාවලියක් මඟින් ක්ලෝරොෆිල් නැමැති මෙම සාන්ද්‍රණය සාදා ගත හැකි බවත් පෙන්වා දුන්නේය. මෙම සාන්ද්‍රණයෙන් ඉතාම අඩු ප්‍රමාණයක් භාවිත කර මදුරු කීටයන් විනාශ කළ හැකි බවත් මෙහි විෂ ගතියක් පෙන්නුම් කරන්නේ හිරුඑළියට නිරාවරණය වීමෙන් පමණක් බවත් හිරුඑළිය වැටීම නිසා මදුරු කීටයා ඇතුළත මෙම විෂ සහිත ක්‍රියාවලින් සිදු වීම හේතුවන් මර්දනයක් සිදු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ අනුව මෙම විෂ රහිත ක්‍රමවේදය මඟින් මිනිසාට සහ පරිසර පද්ධතියට කිසිදු හානියක් සිදු නොවේ. මෙරට හරිතප්‍රද මඟින් මෙම සංයෝගය නිපදවා ඩෙංගු මර්දන ඒකකය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව මෙම ක්‍රියාවලිය අත්හදාබැලීමට බලාපොරොත්තු වන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 11 =