මැතිව්ස් වාර්තා පොත අලුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –සිය ටෙස්ට් තරග දිවියේ මංගල ද්විත්ව ශතකය රැස් කළ ඇන්ජෙලෝ මැතිව්ස් සත්කාරක සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදී ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 515 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්විය.

9 වැනි කඩුල්ල ලෙස කසුන් රාජිත දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවනවිට මැතිව්ස් නොදැවී ලකුණු 200ක් රැස් කර තිබු අතර ඒ වනවිට ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ පිලට වඩා ලකුණු 157ක් ඉදිරියෙන් සිටියේය.

ඊයේ දිනය නිමාවනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ පිල කිසිවකු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 13කි. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පිලට වඩා තවත් ලකුණු 127ක් පසුපසින් සිටින අතර තරගය අද නිමාවට පත්වීමට නියමිතය.

පෙරේදා දිනය නිමාවනවිට නොදැවී ලකුණු 92ක් ලබා සිටි 32 හැවිරිදි ජ්‍යෙෂ්ඨ පිතිකරු මැතිව්ස් ඊයේ සිය ද්විත්ව ශතකයක් රැස් කරමින් වසර 5කට පසුව ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස වාර්තාපොතට එක්විය. ඊට පෙර අවසන් වරට ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ පිතිකරු වන්නේ කුමාර් සංගක්කාරය. ඔහු 2014 අගෝස්තු මාසයේ 5 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 221ක් රැස් කිරීමෙන් පසුව ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කිරීමට කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවකු සමත් නොවීය.

මෙය මැතිව්ස්ගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වන අතර ඔහු මේ වනවිට ටෙස්ට් තරග 85ක ඉනිම් 152කදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 5904කි. ඊට ශතක 10ක් සහ අර්ධ ශතක 34ක් ඇතුළත්ය.

එමෙන්ම පසුගිය වසර 5 ඇතුළත ටෙස්ට් ඉනිමක දී ශ්‍රී ලාංකික පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙය විය. මීට පෙර නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලකුණු 196 බැගින් රැස් කර තිබිණි.

සිකන්දර් රාසා යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 176 ඕවරයේ අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කිරීමට මැතිව්ස්ට පන්දු 468ක් වැය විය. ඊට හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් ඇතුළත්විය. ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවනවිට මැතිව්ස් මිනිත්තු 600ක් පුරා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

සිය ටෙස්ට් ශතකය වාර්තා කිරීමට පන්දු 272ක් වැය කළ මැතිව්ස් ලකුණු 150 වාර්තා කළේ පන්දු 381කිනි. දිවා ආහාරය වනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 370ක් රැස් කර තිබුණු අතර මැතිව්ස් සමග එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 98ක කදිම සම්බන්ධතාවක් ගොඩනැගීමට ධනංජය ද සිල්වා සමත්විය. ඔහු මුළු ලකුණු සංඛ්‍යාව 325දී වික්ටර් එන්යුචීගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 63ක් ලබා සිටියදීය.

අනතුරුව නිරෝෂන් දික්වැල්ල සමග එක්ව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 461 දක්වා ඉහළට ඔසවා තැබූ මැතිව්ස් 149 වැනි ඕවරයේදී සිය ලකුණු 150 සම්පූර්ණ කළේය. ඊට ඕවර කිහිපයකට පසුව ඔහු එන්යුචිගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් 2014 එංගලන්තයට එරෙහිව ලීඩ්ස් නුවරදී රැස් කළ ඔහුගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 160 පසු කර ගියේය. ඊට පෙර ඔහු ලකුණු 108ක් ලබා සිටියදී අයින්ස්ලි එන්ඩ්ලෝ යැවූ 124 වැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින රෙගිස් චකබ්වාට උඩ පන්දුවක් ලබාදුන්නත් එය රැකගැනීමට ඔහු අසමත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 461දී සිකන්දර් රාසාගේ පන්දුවකට දික්වැල්ල කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර ඒ වනවිට ඔහු ලකුණු 63ක් ලබා සිටියේය. මැතිව්ස් සහ දික්වැල්ල අතර 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 136ක් විය. අද තරගයේ අවසන් දිනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =