රැකියා ලක්ෂයේ වැඩසටහන මාර්තු 02 ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය මඟින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළට අදාළ සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 වැනිදා සිට දින 05ක කාලයක් පවතින බවත් එහිදී තෝරා ගන්නා පුද්ගලයන්ට මාර්තු 02 වැනිදා සිට මාස 06ක පුහුණු කාලයක් ලබාදී ඔක්තෝබර් 01 වැනිදා සිට රජයේ ස්ථිර රැකියා ලබා දෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේය.

අයදුම්කරුවන් විසින් ජනවාරි 20 වැනිදා පළ වූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයදුම්පත් පෙබරවාරි 15 වැනි දිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙත භාරදිය යුතුය. ග්‍රාම නිලධාරි විසින් තොරතුරු සහතික කර තම ප්‍රාදේශීය ලේකම් වෙත පෙබරවාරි 20 වැනි දිනට පෙර ඒවා භාර දිය යුතු අතර ග්‍රාම නිලධාරි විසින් තොරතුරු තහවුරු කරගැනීමේදී ප්‍රදේශයේ බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ පූජක පක්ෂයෙන්, කොට්ඨාසය භාර මහජන නියෝජිතයාගෙන් කරුණු විමසිය හැකිය. වැරදි තොරතුරු තහවුරු කිරීම රැකියාව අත්හිටුවීම ඇතුළු විනය ක්‍රියාමාර්ග ගැනීමට යටත් බව එම නිවේදනයේ සඳහන් වේ.

ප්‍රාදේශීය ලේකම්වරුන් වරින්වර මෙම කටයුතු අධීක්ෂණය කරමින් රැකියා කළ හැකි දිළිඳුම පවුල්වලට මුල්තැන ලැබෙන පරිදි වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම සහතික කිරීමට කටයුතු කළ යුතු බවත් ඔවුන් ග්‍රාම නිලධාරීන් වෙතින් ලැබෙන තොරතුරු/ අයදුම්පත්‍ මනා ලෙස ලේඛනගත කිරීම පෙබරවාරි 25 වැනි දින වන විට සම්පූර්ණ කළ යුතු බවත් එම නිවේදනයේ දැක්වේ. මෙම සම්මුඛ පරීක්ෂණ පොදු ස්ථානවලදී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වන පුද්ගලයන් ග්‍රාම නිලධාරී සහතිකය සහ වෙනත් සහතික ඇත්නම් ඉදිරිපත් කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *