කොරෝනා බිය නිසා ඩිස්නිලන්තය වැසේ -චීනයේ මහා ප්‍රාකාරයේ කොටසකුත් වසයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ආකර්ශනයක් හිමි ෂැංහයි ඩිස්නිලන්තය , චීනයේ මාරාන්තික කොරෝනා වෛරසය ‍හේතුවෙන් තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇත.

එහි පාලනාධිකාරිය නිවේදනය කර ඇත්තේ හෙට (25) සිට යළි දැනුම් දෙන තුරු එම උද්‍යානය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයට ලක්වූ ෂැංහයි ඩිස්නිලන්තයේ නව අවුරුදු නිවාඩු සමය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ බව සඳහන් වේ.

පවතින තත්ත්වය හමුවේ සංචාරකයින්ගේ මෙන්ම කාර්යය මණ්ඩලයේ ද ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඩිස්නිලන්ත පාලනාධිකාරිය දැනුම් දී ඇත.

වෝල්ට් ඩිස්නි සමාගම විසින් ඉදිකරන ලද ෂැන්හයි ඩිස්නිලන්තය 2016 වසරේ විවෘත කෙරුණු අතර වාර්ෂිකව මිලියන ගණනක සංචාරකයින් පිරිසක් එහි පැමිණෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කොරෝනා වෛරසය ‍හේතුවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගල මරණ 26ක් වාර්තා වී ඇති අතර තවත් 800කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි සදහන්වේ. මේ අතර චීනයේ චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම් අවලංගු කර ඇත.

එසේම චීනයේ මහා ප්‍රාකාරයේ කොටසක් ද සංචාරකයින් සඳහා වසා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − two =