මේ වසරේ දී රාජ්‍ය සේවයට 153,000ක් බඳවා ගනී

(කොළඹ, ලංකාපුවත්) –සමෘද්ධිලාභීන් හෝ අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් හා රැකියා විරහිත උපාධිධාරීන් 53,000ක් වශයෙන් 153,000ක් මේ වසරේ රාජ්‍ය සේවයේ රැකියා සඳහා එකවර බඳවා ගැනීමට රජය තීරණය කරයි.

මේ අනුව මේ වසරේ ජනවාරි 1 දා වනවිට රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 53,000ක් රැකියා සඳහා බඳවා ගැනීම මාර්තු 1 දා සිට ආරම්භ කෙරෙන බවත්, අදාළ අයැදුම්පත් එදින සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර දීමට ඔවුන්ට අවස්ථාව ලබා දී ඇති බවත්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජාති, ආගම්, කුල භේද හෝ අභ්‍යන්තර උපාධිධාරීන් ද, බාහිර උපාධිධාරීන් ද යනාදී කිසිදු භේදයකින් තොරව මෙම උපාධිධාරීන් රැකියා රැකියා සඳහා බඳවා ගැනෙන බවද, බඳවා ගැනීමෙන් පසු එම උපාධිධාරීන් හය මසක අනිවාර්ය නායකත්ව පුහුණුව සහ වෘත්තීය අභිමුඛ පුහුණුවක් සඳහා යොමු කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි. කිසිදු දේශපාලනඥයකු පිටුපස ගමන් කිරීමට හෝ වෙනත් ආකාරයේ බලපෑම් කිරීමට යටත් වීමට සිදුනොවන ආකාරයෙන් ලාංකීය උපාධිධාරී දරුවන්ට මේ අන්දමින් ඉතිහාසයේ පළමුවරට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් මේ අනුව සකස් කර තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (23) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දීය.

එහිදී අදහස් දැක්වූ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා- මහින්ද රාජපක්ෂ යුගයේ දී තොග වශයෙන් උපාධිධාරීන්ට ජීවනෝපාය සලසා දුන්නා. නමුත් ඒ අවස්ථාවේ සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් ඇතැම් අයට කරන්න කාර්යභාරයක් තිබුණේ නැතැයි කියලත් චෝදනාවක් නැඟී තිබුණා. උපාධිධාරී බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික නායකයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිශ්චිත කාර්යභාරයක් නැතිව සිටින බවට අසන්න ලැබුණා. අපි හැම වෙලාවේම නිහතමානීව අපේ රජය විසින් සිදුකරන ලද කටයුතුවල අඩුපාඩුවක්, දුර්වලකමක් තිබුණා නම් ඒ වැරැද්ද ලෙස දකින්නත්, එය නිවැරැදි කර ගැනීමටත් කටයුතු කරන රජයක්. ඒ නිසා මේ අය තොගය ලෙස බඳවා ගන්නේ නැතිව සියලු උපාධිධාරීන්ට 2020 වසරේ නියත වශයෙන් රජයේ රැකියා ලැබෙනවා. පුහුණුවට බඳවා ගැනීමෙන් පසු පවතින පුරප්පාඩු අනුව තමයි රැකියා සඳහා බඳවා ගැනෙන්නේ.

එමෙන්ම, දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙළ යටතේ සමෘද්ධිලාභීන් හෝ ඒ හා සමාන අඩුආදයම්ලාභීන් ලක්ෂයක් බහුකාර්ය ශ්‍රම හමුදාවක් ලෙස බඳවාගන්න කටයුතු කරනවා. ඒ සඳහා පුවත්පත් දැන්වීම මේ වනවිට පළ කර තිබෙනවා. අ.පො.ස. සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත අට ශ්‍රේණිය සමත් පිරිසයි ඒ සඳහා බඳවා ගන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *