මේ වසරේ සංචාරක ප්‍රජා පාදක ගම්මාන 07ක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබා දීමේ අරමුණින් ප්‍රජා පාදක ගම්මාන 07ක් මේ වසර අවසන් වීමට පෙර ස්ථාපිත කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ හීල් ඔය, මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල, ගාල්ල දිස්ත්‍රික්කයේ මෙදේරිපිටිය, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරු ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩහේන, මාතර වෙහෙරහේන හා රත්නපුර දිස්ත්‍රික්කයේ සීලෝගම යන ගම්මාන සංචාරක ප්‍රජා පාදක ගම්මාන ලෙස සංවර්ධනය කිරීමට තෝරාගෙන ඇති ගම්මාන වේ. මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.06ක ප්‍රතිපාදන කොරියානු රජයෙන් ලැබී තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මෙරට සංස්කෘතිමය අත්දැකීම් ලබා ගැනීමට ඉඩ සැලසෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මේ වන විට ලෝකයේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවණතාව වී ඇත්තේ ස්ථාන නැරඹීම වෙනුවට අත්දැකීම් ලබා ගැනීමට බැවින් මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය. මේ අනුව තෝරාගත් ගම්මානවල යටිතල පහසුකම් සංචාරක ක්ෂේත්‍රයට ගැළපෙන පරිදි සංවර්ධනය කර මෙරට සංස්කෘතික හා සමාජ හර පද්ධතිවලට කිසිදු ගැටලුවක් මතු නොවන ආකාරයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *