වජිරා චිත්‍රසේන – ඉන්ද්‍රා දසනායක පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකික වැසියන් දෙදෙනෙකු වන ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය සහ අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියට ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානය පිරිනමා ඇත.

ඔවුන්ගේ සේවා ක්‍ෂේත්‍රයේ සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා සබඳතා සඳහා පුරෝගාමී දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ලබා දී ඇති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඉන්දියාවේ 71 වන ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දියානු රජය විසින් මෙම සම්මාන පිරිනමා තිබේ.

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය යනු ශ්‍රී ලංකා නර්තනයේ ජීවමාන පුරාවෘත්තයකි. ඇය නැටුම් ප්‍රවර්ධනය කිරීම සදහා දෙරටේම කලා ආකෘතීන්, විශේෂයෙන් උඩරට සහ ඔඩිසි නර්තන කලාවන් මිශ්‍ර කිරීම තුළින් ඉන්දියාව හා ශ්‍රී ලංකා සබඳතා වැඩි දියුණු කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබේ.

දිවංගත හින්දි භාෂා මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ මහාචාර්යවරියකි. ඇය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල හින්දි භාෂාව හඳුන්වාදීමේ හා ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමි චරිතයක් ලෙස සැලකේ. මහාචාර්ය දසනායක මහත්මිය 1995 දී කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය. මූලික වශයෙන් ඇයගේ උත්සාහය හේතුවෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි දෙපාර්තමේන්තුව අද ශ්‍රී ලංකාවේ විශාලතම හින්දි අධ්‍යයන මධ්‍යස්ථානය බවට පත්ව ඇත. මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය 2019 සැප්තැම්බර් මාසයේ දී කොළඹ දී අභාවප්‍රාප්ත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − five =