අඩු මුදලට හජ් වන්දනා වරම්

(කොළඹ, ලංකාපුවත්) – මෙතෙක් පෞද්ගලික නියෝජිත ආයතන මගින් සංවිධාන කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව තීරණයකර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හජ් වන්දනා කමිටු සභාපති මර්ජාන් ෆලීල් මහත්වරු පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.

හජ් වන්දනා සමයේදී පෞද්ගලික නියෝජිත ආයතන රුපියල් 700,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ගලවා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව එක් වන්දනාකරුවකුට රුපියල් 500,000ක් වන අඩු මුදලකට මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමිවන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුවේ සභාපති මර්ජාන් ෆලීල් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිට මක්කම දක්වා යාමට සහ ඒමට අවශ්‍ය ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, මක්කම ශුද්ධ වූ නගරයට ආසන්නව තරු පහේ හෝටලයක නවාතැන් පහසුකම්, යක්ෂයාට ගල් ගසන ස්ථානය අසල නවාතැන් ගැනීම සඳහා බී ශ්‍රේණියේ නවාතැන් සහිත කූඩාරමක්, සවුදි රටේ ආහාර වෙනුවට ශ්‍රී ලාංකීය ආහාරපාන, ප්‍රවාහන පහසුකම්, වන්දනාමාන කටයුතු සඳහා පුහුණුව ලත් ආගමික මාර්ගෝපදේශ ආදී සියලුම පහසුකම් මෙම ගමන් පැකේජයට ඇතුළත් වන බව මර්ජාන් ෆලීල් මහතා සඳහන් කළේය.

මක්කම වන්දනා ගමන් සඳහා ගුවන් ගමන් ආරම්භ කිරීම මත්තල ගුවන් තොටුපළෙන් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති අතර, වැඩිම මක්කම වන්දනාකරුවන් නැගෙනහිර පළාතේ සිට ගමන් අරඹන නිමා ඔවුන්ට සමීපම ගුවන් තොටුපළ වන මත්තල ගුවන් තොටුපළ ඒ සඳහා සූදානම් කිරිමට රජය පියවර ගෙන තිබේ.

ආබාධිත අය හා රෝගී අය සඳහා විශේෂ පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇත. මක්කම හජ් වන්දනාවට යන බැතිමතුන්ට අඩුවියදමින් උසස් පහසුකම් ලබාදීමේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *