ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ නිලධාරීන් 600 කට වැඩිදුර පුහුණුවීම් ලබා දීමට පාකිස්තානය එකඟවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ නිලධාරීන් 600 කට වැඩිදුර පුහුණුවීම් ලබා දීමට පාකිස්තානය එකඟවී තිබේ. පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සෆාර් මහමුද් අබ්බාසි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරුණි.

අරලියගහ මන්දිරයේ පැවති හමුවේදී ආරක්‍ෂක අංශ ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක පවතින දිගුකාලීන සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනුණි.

යුද සමයේදී පාකිස්තානය දැක්වූ සහයෝගය අග්‍රාමාත්‍යවරයා අගය කරන ලදි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ නිලධාරීන්ට පුහුණු අවස්ථා ලබා දීමට පාකිස්තානය ක්‍රියා කළේය. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පසුගිය දෙසැම්බර් මාසයේ පැවති තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයට යාමට අවස්ථාව ලබා දීම පිළිබඳ අබ්බාසි මහතා සිය කෘතඥතාව පළ කළේය.

මේ අතර කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු රාජ්‍ය අමාත්‍ය සාද් බින් ෂෙරීඩා අල් කාබි මහතා ඇතුලු දූත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය. ආර්ථික හා පරිසර හිතකාමී බලශක්ති විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණි. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම , ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳව ද අවධානය යොමුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *