කොරෝනා වෛරසයට ලංකාවේ රෝහල් 12ක් සුදානමින්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය ඇතුළු වුවහොත් රෝගී සත්කාර සේවාවන් සඳහා රෝහල් දොළහක් සූදානම් කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය හා දේශීය ​වෛද්‍ය සේවා ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (27) පස්වරුවේ පැවැති සාකචඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ ජාතික ක්‍රියාකාරී කමිටුවේ ප්‍රථම රැස්වීම මෙහිදී පැවැත්විණි.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට අමතරව මීගමුව, ගම්පහ, මහනුවර, කළුබෝවිල, කරාපිටිය, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල, රත්නපුර, බදුල්ල සහ මඩකලපුව මහ රෝහල් සූදානම් කර තැබීමට මෙහිදී තීරණය කරන ලදී.

කිසියම් රෝගියකු හමු වුවහොත් මෙම රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පරිසරය කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරිය රෝහල් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන්නාය.

රෝගීන් පරීක්ෂා කිරීමට, හඳුනාගැනීමට, අවශ්‍ය උපකරණ ලබාදීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවසුවාය. රෝගීන් පරීක්ෂාවට ලක් කරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද තීරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *