කොරෝනා සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකරගත යුතු නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මව්පියන් සහ දරුවන් අනිසි බියක් ඇති ගත යුතු නැති බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29 ) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ප්‍රධාන වශයෙන්ම මේ වන සමාජ මාධ්‍ය ජාල හරහා නිවැරදි තොරතුරුවලට වඩා අසත්‍ය තොරතුරු සමාජගත වන බවත්, මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය මගින් වඩාත් නිවැරදි තොරතුරු ලබාදීමෙන් මහජනතාව තුළ අනිසි බයක් ඇතිවීම වැළැක්විය හැකි බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.ජේ.එම්. චිත්‍රානන්ද මහතා පැවසූයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යංශය වෙත චක්‍ර ලේඛ මේවන විට නිකුත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව නිරන්තරයෙන් කටයුතු කරන අතර,ඒ අනුව මුඛ ආවරණ මිලට ගෙන පළඳින ලෙස පාසල් සිසුන්ට උපදෙස් ලබා දී නොමැති බව ද, මේවන විට පාසල් වසා දැමීමට හෝ ක්‍රීඩා උත්සව නැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර නොමැති බවද ඒ මහතා පැවසීය.

මේ වන විට වූහාන් ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන සිසුන් නේවාසිකාගාරතුළ ඉතා ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ සිටින අතර තානාපති කාර්යාල මැදිහත් වීමෙන් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය සිසුන්ට සහනදායී ගුවන් ගාස්තු යටතේ ඕනෑම වේලාවක ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.

සෞඛ්‍ය බලධාරීන් මේ වන විට රෝගය පැතිර යාම සහ රෝගය වැළඳීම අවම කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් අදහස් දැක්වූ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

ඒ අනුව දෑත් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීම, ටිෂූ කඩදාසි භාවිතා කිරීම, අනවශ්‍ය ලෙස මුඛය නාසය හා දෑස් ඇල්ලීමෙන් වැළකීම, වනසතුන් ඇල්ලීමෙන් වැළකීම, උණ, කැස්ස වැනි රෝගී තත්ව ඇති පුද්ගලයන් මුඛ ආවරණ පැළඳීම, වැනි උපදෙස් සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබා දී ඇති බව ඒ මහතා පැවසීය.

දැනට කොරෝනා වෛරසය චීනයෙන් පිටත ලෝකයේ රටවල් 14 ක පමණක් ව්‍යාප්තව ඇති අතර එම රටවල්වලින්ද වාර්තා වන්නේ ඉතාමත් සුළු රෝගීන් සංඛ්‍යාවකි. මේ වන විට කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 4500ක් පමණ වාර්තා වන අතර ඉන් 95%ක් වාර්තා වන්නේ චීනයෙනි. ශ්‍රී ලංකාවේ තහවුරු කළ එක් රෝගීයකු පමණක් දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වෛරසය පැතිරයාම සාර්ථකව පාලනය කිරීමට මේ වනවිට චීනයට හැකිවී ඇති බවත්, කොරෝනා වෛරසය අනෙක් වෛරස්වලට වඩා පැතිරීමේ වේගය වැඩි වුවද වෛරසයේ දරුණු භාවය මෙන්ම මරණයට පත්වීම අඩු මට්ටමක පවතින බවත් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

වසංගත රෝග අංශය, රෝග නිරෝධායන අංශයේ විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යංශය හා අනෙකුත් අංශ සමඟ ඒකාබද්ධව මේ වන විට මෙම වෛරසය ලංකාවතුළ පැතිරයාම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක්ද පත්කර ඇත. මේ සියලු දෙනා පැය 24 පුරාම දැඩි අවධානයකින් පසුවන අතර හදිසි තත්ව සම්බන්ධයෙන් රටට දැනුම්දීමට ක්‍රමවේදයක්ද සකස් කර ඇත.
විදෙස් රටවලින් ශ්‍රී ලංකාවට ඇතුළුවන සියලුම මගින් පරීක්ෂා කිරීම සඳහා කටුනායක ගුවන්තොටු පොළ හා වරාය අශ්‍රිතවමේ වන විට විශේෂ ක්‍රමවේද සකස් කර ඇත.

සැකකාර රෝගීන් අයි.ඩී.එච්. උණ රෝහල ආශ්‍රිතව ප්‍රතිකාර කිරීමේ හා ඔවුන්ව බලාගැනීමේ ක්‍රම වේදයන්ද මේ වන විට සකස් කර ඇත.

මේ නිසා අනිසි බියක් ඇති කරගනිමින් මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරනු ඇත.

විදේශයන්ගෙන් ලැබෙන පාර්සල් හරහා කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට ජනතාව තුළ අනිසි බියක් පවතින අතර භාණ්ඩ මගින් මෙම රෝගය පැතිර යාමේ අවධානම ඉතා අවම මට්මක පවතින බවත්, පෝෂ්‍යදායී‍ ආහාර ලබා ගැනීම, හොඳින් ජලය පානය කිරීම, විවේකීව සිටීම මෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම තුළින් මෙම රෝගය පාලනය කළ හැකි බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරති.

කොළඹ වසංගත රෝග අංශයේ තොරතුරු ඒකකය සහ gmoa.lk හරහා මේ සම්බන්ධ තොරතුරු යථාවත් කරන අතර ජනතාවට අවශ්‍ය තොරතුරු ඒ ඔස්සේ ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *