‘ධීවර ලිය දිරිය‘ ව්‍යාපෘතිය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ධීවර පවුල් සංවර්ධනය කිරීම උදෙසා ධිවර ක්ෂේත්‍ර ආශ්‍රිත ගෘහ කර්මාන්තයට කාන්තාවන් යොමු කරමින් ඔවුන් බල ගැන්වීම සදහා ධීවර අමාත්‍යංශය මගින් ධීවර ලිය දිරිය ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

මෙහි මුල් පියවර පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ සමුපාකාර උත්සව ශාලාවේදී ධීවර හා ජලජ සම්පත් ඩග්ලස් දේවානන්දා මහතාගේ හා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ධීවර ලිය දිරිය ව්‍යාපෘතිය යටතේ ධීවර කාන්තාවකට ස්වයං රැකියා ඇරැඹීම සඳහා රුපියල් ලක්ෂයේ සිට (100000) සිට රුපියල් දස ලක්ෂය (1000000) දක්වා අවශ්‍ය ණය මුදල් රාජ්‍ය බැංකුවක් හරහා ලබා දීමට පියවර ගෙන ඇත.

මෙම ආධාර මුදල් ලබා දීමට පෙර එම ධීවර කාන්තාවන් ඒ ඒ ක්ෂේත්‍ර පිළීබඳ දැනුවත් කිරීමද සිදු කෙරේ.

මුල් පියවර සඳහා සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ දියවර ලිය දිරිය සමාජිකයන් 2500කට අධික පිරිසක් සහභාගී වූ අතර ඔවුන් නව ණය යෝජනා ක්‍රමය පිළිබඳව දැනුවත් කරන ලදි.

මෙමනව වැඩපිළීවෙළ පිළීබඳව අදහස් දක්වමින් ධීවර ඇමැතිවරයා පෙන්වා දුන්නේධිවර කර්මාන්තයේ යෙදී සිටින ධීවර ජනතාවගේ ජීවන තත්වය ඉතාමත් පහළ මට්ටමක තිබෙන බැවින් ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම සදහා එම පවුල්වල කාන්තාවන් දැනුවත් කර ඔවුන්ට ස්වයං රැකියා අවස්ථාවන් ලබා දී ඒ සදහා අවශ්‍ය අරමුදල් ලබා දීම මෙමගින් සිදු කෙරෙන බවයි.

‘පසුගිය කාලයේ මේ රටේ පෞද්ගලික බැංකු හා ක්ෂුද්‍ර මූල්‍ය ණය ආධාර ලබා දෙන ආයතන මගින් ධිවර පවුල් අසරණ තත්වයට පත් කර තිබෙනවා. එම පවුල් නගා සිටුවීම සදහා මෙමව්‍යාපෘතිය ආරම්භ කළා. ක්ෂුද්‍ර මුල්‍ය ණය දෙන ආයතන විසින් පසුගිය කාලයේ බලවත් ලෙස ධීවර ජනතාව සුරා කෑවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ධීවර ජනතාව වෙත විශාල ණය සහන ධීවර අමාත්‍යංශය හරහා ලබා දී තිබෙනවා. ඉදිරියේදීත් මෙම ව්‍යාපෘතිය මගින් ධීවර පවුල් සදහා සහන රැසක් සැලසීමට බලාපොරොත්තු වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ සියලුම ජන කොටස්වල ජන ජීවිතය නංවාලීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර ඇති අතර ධීවර කර්මාන්තයේ යෙදී සිටින පවුල් නගා සිටුවීමට අවශ්‍ය පියවර රැසක් ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ධීවර අමාත්‍යංශය විසින් මේ වන විටත් ලබාදෙමින් තිබෙනවා’යැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *