ඇමති මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(31) නියම කළේය.

රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් ක්‍රීඩා භාණ්ඩ සතොස ආයතනය මඟින් ආනයනය කර බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ එවක ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළේය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට රාජකාරි කටයුත්තක් සඳහා පෙබරවාරි මස 10 වනදා සිට 25 වනදා දක්වා කාලසීමාව තුළ චීනයේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බව පැවසීය.

ඒ අනුව අදාල කාල සීමාව සඳහා දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම ලීහිල් කරන ලෙසද ජනාධිපති නීතිඥ වරයා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ කාලසීමාව සඳහා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන සහ විගමන පාලකවරයාට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *