පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශණය 12 වන වරටත් කොළඹදී

(කොළඹ, ලංකාපුවත්) – පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශණය 12 වන වරටත් මෙම මස 7 ,8, 9 යන තෙදින පුරා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වෙන බව කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

දිවයිනේ ප්‍රමුඛපෙලේ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් සියලු දෙනා සහභාගි වන මෙම ප්‍රදර්ශනයේදී මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ඉමහත් දායකත්වයක් සැපයූ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ පහසුව සදහා අපනයන තත්වයේ පාවහන් සහ සම්භාණ්ඩ ඉතා පහසු මිලට ලබාගැනීමට අවස්ථාව සැලසේ.

පාවහන් සහ සම්භාණඩ ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ප්‍රවර්ධන කිරීමේ ලා විශාල දායකත්වයක් ලබාදිය හැකි අගය එකතු කළ නිෂ්පාදන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇත. පසුගිය කාලය තුල මෙම කර්මාන්තය ක්‍රමානුකූලව හා සාර්ථකව ලබාගත් වර්ධනයත් සමඟ වර්තමානයේදී තත්ත්වයෙන් උසස් පාවහන් සහ සම්භාණ්ඩ නිපදවීමේ අභිමානය ශ්‍රී ලංකාව අත්කරගෙන සිටී.

ශ්‍රි ලංකාවේ පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තයේ මේ වන විට සෘජු සහ වක්‍ර වශයෙන් ලක්ෂ 3 ක පමන පිරිසක් යෙදී සිටිති. මේ අතර පාවහන් කර්මාන්තයේ මහා පරිමාණ සමාගම් 10 ක්, මධ්‍ය පරිමාණ සමාගම් 30 ක් සහ සුලු පරිමාණ නිෂ්පාදකයන් 3000ක් පමණ සිටිති. සම් සහ සම්භාණ්ඩ කර්මාන්තයේ විශාල පරිමාණයේ සම් නිෂ්පාදන කර්මාන්තශාලා 6ක් , මධ්‍යම පරිමාණයේ කර්මාන්තශාලා 5 ක්ඇති අතර මහා පරිමාණයේ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා 8ක් මධ්‍යම පරිමාණයේ කර්මාන්තශාලා 5ක් සහ සංචාරක කර්මාන්තය අරමුණුකොට සම්භාණ්ඩ නිෂ්පාදනය කරන සුලු කර්මාන්තකරුවන් 1000ක් පමණ සිටිති.

කාන්තා පාවහන්, කැන්වස් සපත්තු, බූට්ස්, ක්‍රිඩා පාවහන්, ආරක්ෂක පාවහන්, පාසැල් පාවහන, රබර් සෙරෙප්පු ආදී විවිධ පරාසයක පවතින නවීන පාවහන් විවිධ අමුද්‍රව්‍යයන් යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලැබේ. රටේ පාවහන් අවශ්‍යතාවය යුගල මිලියන 60ක් පමණ වන අතර රබර් සෙරෙප්පු යුගල මිලියන 25ක් පමණ නිෂ්පාදනය වන අතර මෙම කර්මාන්තයේ සමස්ථ වටිනාකම රුපියල් බිලියන 60ක් පමණ වේ. අද වන විට දේශිය නිෂ්පාදකයන් මෙම කොටසෙන් 75% ත් පමණ නිෂ්පාදනය කරන අතර ඉතිරි 25% ආනයනික පාවහන්වේ.

අද දිවයිනේ පාසැල් පාවහන් වල අවශ්‍යතාවය යුගල මිලියන 4.5 වන අතර එය සම්පුර්ණයෙන්ම සැපයීමට දේශීය කර්මාන්තකරුවන් සමත්වී තිබේ. ඒ අනුව අද වන විට මෙම කර්මාන්තය රටට විදේශ විනිමය ඉතිරි කරන කර්මාන්තයක් බවට පත්ව ඇත. මේ වන විට ශ්‍රි ලංකාවේ පාවහන් පළදින්නන්ගේ සංඛ්‍යාව වර්ධනය කිරීමට රබර් සෙරෙප්පු වලට හැකිවී තිබේ. අද වන විට ශ්‍රී ලංකාවේ පාවහන් භාවිතා නොකරන සංඛ්‍යාව අවම අගයක පවතින අතර ලංකාවේ නිෂ්පාදිත පාවහන් සෑහෙන ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාව සහ යුරෝපීය රටවලට අපනයනය කෙරේ. මේ වන විට රටේ පාවහන් නිෂ්පාදනයට අවශ්‍ය අමතර කොටස් වන පාවහන් අඩි ,සෝල් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්තශාලා රැසක්ද ආරම්භ කර තිබේ.

පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය, අපනයන ආදායම සඳහා වන දායකත්වය වැඩිකරගත හැකි ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව රජය විසින් මෙම කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සහන රැසක් ලබාදී ඇත. රට තුලට ගලා එන විදේශිය පාවහන් වලින් දේශිය කර්මාන්තය ආරක්ෂා කිරීම සදහා ආනයන පාවහන් සදහා සෙස් බදු පනවන ලදි .තවද රටේ නිෂ්පාදනය වන සම් මෙම කර්මාන්තය සදහා ප්‍රමාණවත් නොවන නිසා රජය විසින් සම් ආනයනය සදහා බදු සහනයක් ලබා දී ඇත. අද වනවිට දේශිය වෙළඳපල පාවහන් වලින් සංතෘප්තභාවයට පත්වෙමින් පවතින බැවින් කර්මාන්තයේ තිරසාර පැවැත්ම සඳහා අපනයන වෙළඳපලට පිවිසීම අත්‍යවශ්‍ය වී තිබේ.

සම්භාණ්ඩ කර්මාන්තයේ, සැකසූ සම් නිෂ්පාදනයට අමතරව, අත් වැසුම්, පසුම්බි, ගමන් මලු , බඳ පටි, යතුරු එල්ලන යනාදි සම් ආශ්‍රිත අතුරු නිෂ්පාදනයන් ද සිදු කෙරේ.. දිවයිනේ නිෂ්පාදනය වන සම් ප්‍රමාණය පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තයට ප්‍රමාණවත් නොවන නිසා සම් ආනයනය බදුවලින් නිදහස් කර ඇත.

2016 වර්ෂයේදී ශ්‍රි ලංකාවට ලැබුණු ජි.එස් පී බදු සහනය නිසා අපේ පාවහන් වලටද යුරෝපිය වෙළදපොලට ඇතුල්වීමට අවස්ථාව ලැබී තිබේ . මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයද සම්භාණ්ඩ අපනයනය සදහා තීරුබදුසහන ලබා දී තිබේ.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය දියුනු කිරීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. බදු සහන ලබාදීමේදි මෙන්ම කර්මාන්තයට අදාල ගැටලු විසදීම සදහා උපදේශක කමිටුවක්ද පත් කර ඇත. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මෙම කර්මාන්තය ගෘහස්ථ කර්මාන්තයක් ලෙස ගමට ගෙනයාමට පුරෝගාමී වු අතර දිවයින පුරා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනය පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කර ඇත. පාවහන් නිෂ්පාදනය පුහුණු කිරිමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා ඇගලුම් ආයතනයේ ස්ථාපිත කිරිමද මෙම කර්මාන්තයට විශාල රැකුලක් විය.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ එක්ව 2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පළමුවන පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී. මෙම ප්‍රදර්ශනයේ අරමුණු අතර පාවහන් සහ සම්භාණ්ඩ වලට දේශීය සහ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ලබාදීම , අන්තර්ජාතික ගැණුම්කරුවන් අතර ශ්‍රී ලාංකීය අපනයන හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන් එළි දැක්වීම මෙන්ම අපනයන ශක්‍යතාවයෙන් යුත් නිෂ්පාදකයින් සඳහා අපනයන අවස්ථාවන් උදාකර දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කර ගැනීම සහ අන්තර්ජාතික වෙළඳපල සඳහා අගය එකතු කළ නිෂ්පාදනයන් නිපදවීමට දිරිමත් කිරීමද වේ.

2007 වසරේ ප්‍රදර්ශන කුටි 122 ක සහභාගීත්වයකින් ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය මෙම වසර වනවිට ප්‍රදර්ශන කුටි 230 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වී ඇත . මෙහිදී දේශිය ප්‍රදර්ශකයින්ට අමතරව විදේශිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. 2007 වසරේ පැවති ප්‍රදර්ශනයේදී එහි නියමිත අරමුණු සාක්ෂාත් කරගත හැකිවූ බැවින් මෙම ප්‍රදර්ශනය නොකඩවා පැවැත්වීම වැදගත් වූ අතර මෙවර පැවැත්වෙන්නේ මෙහි 12 වැනි ප්‍රදර්ශනයයි. මෙතෙක් පැවැති මෙම ප්‍රදර්ශනය මගින් දේශිය හා විදේශියව ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අතිවිශාල දායකත්වයක් සපයන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − seven =