ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලෝක බැංකුවේ අඛණ්ඩ සහයෝගය

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ වර්ධනයට හා සංවර්ධනයට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව ලෝක බැංකුව යළිත් තහවුරු කරයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කාලපීය උප සභාපති හාට්විග් ෂේෆර් මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ හොඳම මානව සංවර්ධන දර්ශක සහිත ඉහල මධ්‍යම ආදායම් ලබන රටක් බවයි.

ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරත වූ හාට්වික් ෂේෆර් මහතා සිය සංචාරය නිමා කරමින් මෙම අදහස් පල කර ඇත.

ඒ මහතා මෙම සංචාරය තුළ දී මෙරට නව රජය යටතේ රටේ සංවර්ධන ප්‍රමුඛතා සහ ලෝක බැංකුවේ මූල්‍ය හා දැනුම සම්පත් උපරිම බලපෑමක් සඳහා යෙදවිය හැකි ආකාරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගෙන තිබුනි.

ඔහු මෙම සංචාරය තුළ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

නව දේශිය උපායමාර්ගය සකස් කිරිමේදී හා සංවර්ධන හවුල්කරුවන් ලෙස සහයෝගිතාවය ලබාදීමේ දී රජය සමඟ සමීපව කටයුතු කිරිමට බලාපොරොත්තු වන බව ද ෂේෆර් මහතා පවසයි.

සිය සංචාරයේදී රජයේ ප්‍රධාන ප්‍රමුඛතා වන මානව හා භෞතික ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරිම, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, තරුණ තරුණියන් සඳහා පුහුණු රැකියා උත්පාදනය කිරිම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනයක සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම වැනි කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව සදහන් වේ.

තිරසාර සංවර්ධනය සඳහා සංචාරක ව්‍යාපාරය කෙරෙහි රජය දක්වන අවධානය ද ෂේෆර් මහතාගේ පැසසුමට ලක්ව ඇති අතර කෘෂි කර්මාන්තයේ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරිම සහ වර්ධනය කිරිම සඳහා ක්‍රමවේදයන් සකස් කිරිම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එසේම හාට්වික් ෂේෆර් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පැතූ අතර ශ්‍රී ලංකාවේ වර්ධනය හා සංවර්ධන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ සහයෝගය සහතික කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *