කොරෝනා වෛරස් රෝගයට බියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කල් දැමිය යුතු නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරස් රෝගයට බියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කල් දැමිය යුතු නැතැයි ප්‍රවාහණ කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා අගුනකොළ පැලැස්සේ වතුකන්ද විහාරස්ථානයේ පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. දහම් පාසැල් දරුවන් සඳහා හා දහම් පාසැල්වලට පාසැල් උපකරණ බෙදා දීමේ වැඩ සටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

“අපේ රටේ මේ වනවිට චීන ජාතිකයින් ලක්ෂ 06ක් පමණ සිටින බවට වාර්තා වී තිබෙනවා. සමහරු හිතන්නේ චීන ජාතිකයින් සියලු දෙනාටම මේ රෝගය බෝ වෙලා කියළයි. මං දන්න විදියට චීනයේ ජනගහනය කෝටි 160ක් විතර. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ඉන්නේ චීනයේ. ඒ අතරින් දැනට තුන් හාරදහකට තමයි මේ රෝගය වැලඳිලා ඉන්නේ. මේ රෝගය වාර්තා වූ වූහාන් නගරයේ කෝටි පහක විතර ජනගහනයක් ඉන්නවා. ඒ සියලු දෙනා වූහාන්වල සිටි පලියට ඒ රෝගයට ගොදුරු වෙලා නෑ.

අනික අපේ රටේ ගුවන් තොටුපොළවල් තියෙන්නේ දෙකයි. වරායවල් තිබෙන්නේ එකයි. එම අංශ දෙක මේ වනවිට රෝග වැලැක්වීමේ ආවේක්ෂණ වැඩ පිළිවෙළ හොඳින් ශක්තිමත්ව ක්‍රියාත්මක කර තිබෙනවා. රෝගියෙකුට එම අංශ දෙකෙන් රට ඇතුළට හොරෙන් ඇතුල් වෙන්න බැහැ. අනිත් එක මහජනතාව විසින් කළ යුත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම. එහෙම නැතුව චීන ජාතිකයෙක් දුටු පමණින් පැන දිවීම නොවේ.

මම පසුගිය දවසක මාතර – හම්බන්තොට අධිවේග මාර්ගය ඉදි කිරීම් බලන්න ගියා. එම කටයුතු සති දෙකකට නවත්තලා තියෙනවා මේ කොරෝනා වෛරස් උණ නිසා. අපේ රටේ අහළකින්වත් නැති රෝගයක් නිසා සංවර්ධන ව්‍යාපෘති නතර කළ යුතු නැහැ. අපේ ගම්වල කතාවක් තියෙනවා. ඇදහැලෙන වැස්සෙන්වත්, හමන හුළගින්වත්, වැටෙන අව්වෙන්වත් කාටවත් බේරෙන්න බැහැ කියළා. ඒ වගේම තමයි මේ රෝගත්.

ඒ නිසා අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියටම ක්‍රියාත්මක කළ යුතුයි. මොකද, මෙම සංවර්ධන ව්‍යාපෘති සති දෙකක් නොවෙයි දවසක් ප්‍රමාද වුනත් අපිට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ නිසා කොරෝනා වෛරසයට බියේ සංවර්ධන ව්‍යාපෘති කල් දැමීම සුදුසු නැති බව මම ප්‍රකාශ කරනවා.යි ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *