ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න කැපවෙනවා

(කොළඹ, ලංකාපුවත්) – ජනතාවගේ අවශ්‍යතාවන් ක්‍රියාත්මක කිරීමේදී කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන්, ව්‍යවස්ථාදායකයන්ගෙන් හෝ අධිකරණයෙන් බලාපොරොත්තු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

72 වැනි නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කෙළේය. ‘සුරක්‍ෂිත දේශයක් සෞභාග්‍යවත් රටක්’ යන තේමාව යටතේ නිදහස් දින උලෙළ නිදහස් චතුරස්‍රයේදී ඊයේ (04) අභිමානවත් අයුරින් පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත්වීම සඳහා සැබෑ නිදහසක් ජනතාවට ලබාදිය යුතුයි.

ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ දෙන්නේ නැහැ.

ත‍්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එහි ජනතාවට නිදහස් නොමැති නිසායි.ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට මා කැපවෙනවා.

සුළුතරයක් සිදු කරන වැරදිවලට දඩුවම් දෙනවා වෙනුවට බහුතරයක් ජනතාව අපහසුතාවට පත් කරන යල් පැන ගිය නීති වහා වෙනස් කළ යුතුයි.

රට ඉදිරියේ අභියෝග රැසක් තිබෙන අතර ඒවා ජය ගන්නට ආණ්ඩුව දරණ උත්සාහයට රට වැසි සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන්ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ ආණ්ඩුව විරුද්ධ මත ඉවසන්නට සැමවිටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස තියෙනවා. ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තියෙනවා යැයි ජනාධිපතිවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *