ශ්‍රී ලාංකික සිසුන් 717ක් මේවන විට පැමිණ අවසන්

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ පැතිරයන කොරෝනා වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් එහි රැඳිසිටි ශ්‍රී ලාංකික සිසුන් 717 දෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පිටත් කැර එවීමට හැකි වූ බව චීනයේ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තවත් ශිෂ්‍යයින් දස දෙනෙකු ඊයේ (04) රාත්‍රි ශ්‍රී ලංකාවට එවීමට පියවර ගත් බවද චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගනාදන් මහතා සඳහන් කරයි.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත රාජ්‍යයක සිදු වූ දෙවැනි පුද්ගල මරණය ඊයේ හොංකොං රාජ්‍යයෙන් වාර්තා වී තිබෙන අතර 39 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බවද ඔහු පසුගිය මස 21 වැනි දා චීනයේ චැංෂානන් වෙත ගමන් කිරීම සඳහා හොංකොං සිට වුහාන් නගරය දක්වා වූ අධිවේගී දුම්රිය මාර්ගයක ගමන් කර ඇති බව වාර්තා වෙයි. අදාළ පුද්ගලයා කිසිදු අවස්ථාවක වුහාන් හි සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට, වෙළෙඳ පොළකින් භාණ්ඩ මිලදී ගැනීමකට, මුහුදු ආහාර හෝ සතුන් ආහාරයට ගැනීමට කටයුතු නොකර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 427 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර රටවල් 25 කට අධික සංඛ්‍යාවකින් කොරෝනා වෛරස් රෝග ආසාදිතයින් මේ වනවිට වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *