අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් මාර්තුවේ සිට සහන මිලට – අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ දහයක් සහනදායි මිලට ලබාදීම මාර්තු 01 දින සිට ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ලබාදෙන මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ලංකා සතොස, සමුපකාර වෙළෙඳසැල් හා කාන්තා ව්‍යවසායක වෙළෙඳසැල් හරහා ලබාදෙන බව ද පැවසීය.

මහ කන්නය සඳහා වී ගොවීන්ට රුපියල් 50 ක සහතික මිලක් ලබාදීමට කටයුතු කැර ඇති බව පෙන්වා දුන් අගමැතිවරයා, රට තුළ ධාන්‍ය, එළවළු, පලතුරු, කුකුල් මස්, බිත්තර, කිරි නිෂ්පාදන සුලභ කිරීමට ප්‍රතිපත්ති සම්පාදනය කරන බව ද කීවේය.

ආනයන අභිමුඛ ආර්ථිකයක් වෙනුවට අල, ලූනු, බඩඉරිඟු, සෝයා, උඳු, මුං ඇට, කුරහන් දේශීයව වගාකිරීමට එළඹෙන යල කන්නය සූදානම් කරන බව ද පැවසීය. සීනි, කිරිපිටි, තිරිඟු පිටි, සැමන්, කරවල වැනි විදේශ විනිමය සූරාකන ආහාර දේශීය නිෂ්පාදනය කරන බව ද එමඟින් රටේ වෙළෙඳ ප්‍රතිපත්ති දිශාව වෙනස් කරන බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *