පසුගිය ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණයෙන්ආර්ථිකයම අක්‍රීය වෙලා

(කොළඹ, ලංකාපුවත්) – 2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රිය වී ඇතැයි රජය කියා සිටී.

මේ තත්ත්වය කෘෂිකර්මය නිදහස් සෞඛ්‍ය සේවය ඉදිකිරීම් කර්මාන්තය ආහාර ද්‍රව්‍ය සැපයීම තේ කර්මාන්තය සහල් නිෂ්පාදනය වැනි ප්‍රධාන අංශ ගණනාවක් අඩාලවීමට බලපා තිබේ. ආර්ථිකය අක්‍රියවීමට මූලික හේතුව සේවාවන් සඳහා කළයුතු ගෙවීම් නොකර තිබීමය.

කලින් පැවති රජය 2019 සඳහා අනුමත කළ අය-වැය ඇස්තමේන්තු ප්‍රතිපාදන සියල්ලම පාහේ පසුගිය නොවැම්බර් වන විට වියදම් කර තිබිණ. එබැවින් නොවැම්බර් දෙසැම්බර් මාසවල රජය කළ වියදම් පියවීමට භාණ්ඩාගාරයට නොහැකි විය. 2019 වසරට අනුමත රජයේ ආදායම රුපියල් බිලියන 2400කි. එහෙත් දෙසැම්බර් වන විටත් ලැබී තිබූ මුදල රුපියල් බිලියන 1800 ඉක්ම වූයේ නැත. මුල් ඇස්තමේන්තුවෙහි රුපියල් බිලියන 600ක හිඟයක් ඇති විය. එබැවින් වසර අවසන්වන විට මාස 02කට වැඩි කලක් කළයුතු බොහෝ ගෙවීම් නොකර තිබූ බව රජය පෙන්වා දෙයි.

2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේ වියදමෙන් නොපියවූ මුදල රුපියල් මිලියන 1188කි. රෝහල්වල ඖෂධ හා සැපයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙවිය යුතු මුදලින් රුපියල් මිලියන 25,696ක් ගෙවා නැත. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලී සහනාධාරය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය බැංකුවලට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 45,856ක් වේ. පොහොර සහනාධාරය උදෙසා සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 23,950ක් ගෙවීමට තිබේ. මහාමාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නොගෙවූ මුදල රුපියල් මිලියන 18,449කි. ගම්පෙරළිය, උතුරු පළාත් සංවර්ධන හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 3,126ක් වේ. වාරිමාර්ග සහ ග්‍රාමීය ව්‍යාපෘති වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් නොපියවූ ප්‍රමාණය රුපියල් මිලියන 6,558 කි. මේ ගෙවීමට ඇති හිඟ මුදල් ශීර්ෂවලින් සමහරක් පමණි. කළයුතු ගෙවීම් හිඟ තැබීම නිසා බරපතළ අහිතකර ප්‍රතිවිපාක උද්ගතව ඇතැයි රජය පෙන්වා දෙයි. පොහොර සමාගම් පොහොර ආනයනයෙන් සහ බෙදාහැරීමෙන් ඉවත් වෙමින් සිටී. රජයේ සමාගම් බොහෝ දුෂ්කරතා මැද වී වගාවට පොහොර සපයන නමුදු සෙසු බෝග සඳහා පොහොර සම්පාදනය අඩපණ වී ඇත. සමස්ත කෘෂිකර්මයම අඩාලවීමේ අවදානමක් පවතී.

පිළිකා රෝහල ඇතුළු සියලු රෝහල්වලට නිසි පරිදි ඖෂධ සැපයීමට නොහැකිවීමෙන් නිදහස් සෞඛ්‍ය සේවයම අඩපණ වී තිබේ. දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටී ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 700කින් අඩක්ම වැසී ගොසිනි. 400කට අධික තේ කම්හල්වලින් විශාල කොටසක් අකර්මන්‍යවී ඇත.

රාජ්‍ය බැංකු පද්ධතිය ද අකාර්යක්ෂම කළමනාකරණයට ගොදුරුවී ඇතැයි රජය ප්‍රකාශ කරයි. ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල හා විධායක නිලධාරීන් සිය තනි මතයට ක්‍රමවේදයෙන් බැහැරව ඇප රහිතව සැපයූ ණය අය කර ගැනීමට නොහැකිව ඇත. ප්‍රමාණය රුපියල් බිලියන 72කි. නැතහොත් කෝටි 7200කි. ඒවා සුවිශේෂී පුද්ගලයන්ට දුන් ණය බව පෙනී යයි.

නිසි අනුමැතියකින් හෝ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හෝ නැතිව පටිපාටියෙන් බැහැරව පසුගිය රජය කළ සේවකයන් බඳවා ගැනීම් තවත් ප්‍රශ්නයකි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එසේ බඳවාගත් පිරිස 167කි. තෙල් සංස්ථාවේ වත්මන් පාඩුව රුපියල් මිලියන 10,000ක් පමණය. වගකීමෙන් තොර බඳවා ගැනීම් නතර නොකොට මිල සූත්‍රයකින් ජනතාව මත බර පැටවීම සාධාරණ නැතැයි රජය පෙන්වා දෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදලට 1430 දෙනකු බඳවාගෙන තිබේ. සංස්කෘතික අරමුදල් පනත පරිදි එය සතු මුදල් වැය කළ හැක්කේ සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක නඩත්තුව හා සංරක්ෂණය සඳහා පමණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය මේ අර්බුදයෙන් ආර්ථිකය මුදා ගැනීමේ අධිෂ්ඨානයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටී. අය-වැය හිඟය 2025 වන විට 4% දක්වාත්, දැන් 80% ක් වන රාජ්‍ය ණය 70% දක්වාත් අඩු කිරීමට සැලසුම් කර ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීම රජයක වගකීම බැවින් ඉතා ඉක්මණින් ඔවුනට රැකියා ලබාදීමට අපේක්ෂා කෙරේ. උසස් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා පුළුල් කෙරෙමින් පවතී. තේ, කුරුඳු, ගම්මිරිස් සහ වෙනත් වැවිලි බෝග වගාව සංවර්ධනය කොට අපනයනයට යොමු කරනු ලැබේ. වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ගෙවීම මාර්තු 01වනදා ඇරැඹේ. උක් වගාව දියුණු කොට සීනි සහ එතනෝල් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කර ඇත. කජු වගාවේ සංවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙනු ලැබේ.

අඩු ආදායම්ලාභීන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් සහනදායී ලෙස ලබාදීමට ජනාධිපතිතුමා දුන් පොරොන්දුව මාර්තු 01වනදා සිට ක්‍රියාවට නැංවේ. වසා දැමීමට හෝ පෞද්ගලිකරණයට තෝරාගෙන තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමස්ත සංවර්ධනයට දායකකර ගත හැකි ආයතනයක් බවට පත් කෙරේ. ජාතික ගුවන් සේවයට කළ හැකි මෙහෙවර කොරෝනා අවදානමට මුහුණ පා සිටි ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට කළ මෙහෙයුමේ දී පැහැදිළි විය.

2019-2020 මහ කන්නයේ වී අස්වනු නෙලීම දැන් ආරම්භ වී තිබේ. වී කිලෝවකට රුපියල් 50ක අවම මිලක් නියම කර ඇත. ගොවීන් දිරිමත් කරමින් සමස්ත කෘෂිකර්මාන්තයේම ප්‍රසාරණයක් ඇති කිරීමට විධිමත් සැලසුම් සම්පාදනය කර ඇති බව රජය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − fourteen =