කටුනායක ගුවන්තොටට අලුතින් ප්‍රවේශ මාර්ගයක්

(කොළඹ, ලංකාපුවත්) – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තයට පහසුවෙන් පිවිසීම සඳහා ද්විත්ව මංතීරු මාර්ග දෙකක් ඇතුළත් වෙනම ගුවන්තොටුපොළ ප්‍රවේශ මාර්ගයක් රුපියල් මිලියන 600ක වියදමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන හා පිටවන විශාල මගීන් සංඛ්‍යාව හේතුවෙන් කාර්ය බහුල වේලාවන්හි දී ගුවන් තොටුපොළට ප්‍රවේශ වන මාර්ගයේ අධික රථවාහන තදබදයක් පවතින බව නිරීක්ෂණය වී ඇති බැවින් ආයෝජන මණ්ඩලය හා මිනුවන්ගොඩ මාර්ගයේ සිට මෙම නව ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇත. රුපියල් මිලියන 600ක ඇස්තමේන්තුවකට යටත්ව අදාළ මාර්ගය ඉදිකිරීමටත්, ඒ සඳහා ප්‍රතිපාදන සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙතින් සලසා ගැනීමටත් සංචාරක සහ ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවද ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (6) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *