සිරකරුවන් වෙනුවෙන් නිශ්ශංක සේනාධිපති

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර රැඳවියන් 5,000ක් ආර්ථික වශයෙන් එලදායී ශ්‍රමිකයන් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

මෙය ක්‍රියාත්මක වන්නේ අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ඇවන්ට් ගාර්ඩ් සමූහ ව්‍යාපාරයේ සහයෝගයෙනි. ඇවන්ට් ගාර්ඩ් සමූහ ව්‍යාපාරයේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය හදුන්වා දීම ඊයේ(07) කොළඹ දී පැවැත්වුනි.

ඇවන්ට් ගාර්ඩ් සමූහ ව්‍යාපාරය මීට අයෝජනය කරන මුදල රුපියල් මිලියන 300කි. මෙමගින් රජයට රුපියල් බිලියනයකට අධික ආදායමක් වාර්ෂිකව ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

අධිකරණයෙන් වරදට දඩුවම් ලෙස බන්ධනාගාරගත වූ රැදවියන් අතරින් මනා පුනරුත්ථාපනයට ලක් වූ රැඳවියන් ඔවුන් ආර්ථිකමය වශයෙන් ඵලදායී ශ්‍රමිකයන් බවට පත් කරමින් ජාතික නිෂ්පාදනයට දායක කරවීම මෙමගින් බලාපොරොත්තුවේ. රටේ ශ්‍රම බලකායට සිරකරුවන් ද දායක කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අභිමතාර්ථයකි.

ඒ අනුව බන්ධනාගර රැඳවියන් පෙදරේරු, විදුලි කාර්මික, ගොඩනැගිලි ඉදිකිරීම්, බර වාහන රියදුරු, වාත්තු, පෑස්සුම්, මෝටර් කාර්මික ආදී පුහුණු සේවකයන් (Skilled Labour) බවට පත්කර මසකට වැටුපක් ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් වෙත ලැබීමට සැලැස්වීම මේ හරහා සිදු කිරීමට නියමිතය.

මීට අමතරව විදේශික භාෂා පුහුණුකරුවන් ගෙන්වා රැඳවියන්ට ඉංග්‍රීසී, ප්‍රංශ, චීන, අරාබි, කොරියානු ආදී භාෂා ඉගැන්වීමට සැලසීම ද මෙම ව්‍යාපෘතිය හරහා සිදු කෙරේ.

මෙහිදී නිශ්ශංක සේනාධිපති මහතා කියා සිටියේ ඇවන්ට්ගාර්ඩ් නඩුව හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටි අවධියේ දී බන්ධනාගාර ‍රැඳවියන් දැක්වූ සැලකිලිත්, බන්ධනාගාර ‍රැඳිවියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ලැබුණු අවබෝධයත්, රැඳවියන් ගේ සුභසාධනය වෙනුවෙන් මැදිහත් වන ලෙස ඔවුන් කළ කාරුණික ඉල්ලීමත් නිසා තමන්ගේ සිතේ රෝපණය වූ සංකල්පයක් ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක කිරීමක් ලෙස මෙම ව්‍යාපෘතිය හැදින්විය හැකි බවයි. ඒ අනුව මෙම ව්‍යාපෘති වාර්තාව සකස් කිරීම ද බන්ධනාගාරය තුලදීම සිදු කළ බවත් එය නිම කිරීමේ අවශ්‍යතාව මත තමන් අවස්ථා තුනකදී අධිකරණයෙන් තමන්ට ඇප ඉල්ලා සිටීම කැමැත්තෙන්ම ප්‍රතික‍්ෂේප කළ බවත් සේනාධිපති මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 9 =