ඉතිහාසයේ පළමු වරට බංග්ලාදේශයට ලෝක ක්‍රිකට් කිරුළක්

(කොළඹ, ලංකාපුවත්) –19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරදවා ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට ලෝක ශූරතාවක් දිනා ගැනීමට බංග්ලාදේශය ඊයේ සමත් විය.

දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රුම්හිදී පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පසුගියවර ශූරයන්වූ ඉන්දියාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 3කින් පරාජය කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ තරග කළ බංග්ලාදේශය මේ ශූරතාව අත්කර ගත්තේය.

බංග්ලාදේශය මින් පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමේ කිසිදු ආකාරයක ලෝක ශූරතාවක් දිනා නොමැති අතර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදීත් අත්කරගෙන තිබූ ඉහළම ස්ථානය තෙවැනි ස්ථානයයි (2016).

ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 177කට සීමාකළ බංග්ලාදේශයේ පිළිතුරු ඉනිමේ 41වැනි ඕවරයේදී වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වනවිට ඔවුන් කඩුලු 7කට ලකුණු 163ක් ලබාසිටි අතර යළිත් තරගය ආරම්භ වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 46කදී ලකුණු 170ක ඉලක්කයක් සමගිනි.

සිවුවරක් ශූරයන් වෙමින් යොවුන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ 7 වැනි වරට අවසන් තරගයට පිවිසි ඉන්දියාව අනුශූරයන් වූ තෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර පාකිස්තානය (2006) සහ බටහිර ඉන්දීය කොදෙව් (2016) කණ්ඩායම් හමුවේ අනුශූරයන් වී තිබේ.

බංග්ලාදේශ ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් උත්සහ කළත් ලකුණු 50දී පළමු කඩුල්ල ලෙස ටැනිසිඩ් හසන් (17) දැවී යෑමත් සමග වේගය අඩාල විය. ලකුණු 3ක් තුළ කඩුලු 3ක් අහිමිව ඉනිම කඩා වැටෙද්දී හුදෙකලා සටනක නිරතවූ ආරම්භ පිතිකරු පර්වේස් හොසේන් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 143ක් විය. ඔහු පන්දු 79කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 47ක් රැස් කළේය.

පර්වේස්ගේ දැවී යෑමෙන් පසු ඉනිමේ බර කරටගත් නායක අක්බර් අලී තරගයේ වීරයා වෙමින් නොදැවී ලකුණු 43ක් රැස් කළේය. හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කළ ඔහු පන්දු 77කට මුහුණදී තිබිණි. පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි කඩුලු 4ක් දවා ගත්තේය.

යෂස්වී ජයිස්වාල් ඉන්දීය පිලට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ලකුණු 88ක් රැස්කළද සෙසු පිතිකරුවන් අසාර්ථකවීමෙන් ඉනිම අඩු ලකුණු ගණනකට සීමා විය. තිලක් වර්මා ලකුණු 38ක් සහ ඩෘව් චාන්ද් ජුරෙල් ලකුණු 22ක් ඉනිමට එක්කළ අතර සෙසු පිතිකිරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවීමට නොහැකිවූහ. පන්දු 121කට මුහුණදුන් ජයිස්වාල් හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය. ඔහු ඊයේ රැස්කළේ මේ තරගාවලියේ සිවුවැනි අර්ධ ශතකයයි. තරගාවලියේ වීරයාවූ ජයිස්වාල් ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 156දී දැවී ගිය අතර ඔහු සමගින් අවසන් කඩුලු 7 ලකුණු 21ක් තුළ බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වූහ. අවිශේක් දාස් කඩුලු 3ක් දවාගත් අතර ශොරිෆුල් ඉස්ලාම් සහ ටැන්සිම් හසන් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

පාකිස්තානයට තෙවැනි තැන

මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේදී බංග්ලාදේශය සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්වූ නවසීලන්තය සහ පාකිස්තානය තෙවැනි ස්ථානය සඳහා පෙරේදා තරග වැදීමට නියමිතව තිබූ අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීමෙන් කාසියේ වාසිය උරගා බැලීමකින් තොරවම තරග අත්හැර දැමීමට සිදුවිය. එහෙත් මූලික වටයේදී නවසීලන්තයට වඩා ප්‍රසාද ලකුණු මත ඉදිරියෙන් සිටීම හේතුවෙන් පාකිස්තානයට තෙවැනි ස්ථානය හිමිවිය.

තරගයේ 5 වැනි ස්ථානය සඳහා පැවැති බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියා තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය. එහිදී ද කොදෙව් පිල මූලික වටයේ ඉදිරියෙන් සිටීම හේතුවෙන් ඔවුන්ට 5 වැනි තැන හිමිවිය. පිළිවෙළින් ඇෆ්ගනිස්තානය, සත්කාරක දකුණු අප්‍රිකාව සහ එංගලන්තය 7 වැනි ස්ථානය සිට 9 වැනි ස්ථානය දක්වා දිනාගත් අතර ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයට ඇද වැටිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =