සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට තවත් රටවල් 4ක් සමඟ අවබෝධතා ගිවිසුම්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 4ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට ශ්‍රී ලංකා රජය සූදානම් වේ.

චීනය, ඉරාකය, පාකිස්තානය හා එස්තෝනියාව යන රටවල් සමඟ ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරියේදී දකුණු අප්‍රිකාව හා ජෝර්ජියාව සමඟ ද ශ්‍රී ලංකා රජය අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට නියමිතයි.

ඉන්දියාව, තායිලන්තය, සීෂෙල්ස්, පෝලන්තය, තජිකිස්තානය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව හා පිලිපීනය යන රටවල් සමඟ ද අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ මතුව ඇති තත්වය හමුවේ ගිවිසුම් අත්සන් තැබීම ප්‍රමාද විය හැකි බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඇතැම් සංවර්ධිත රටවල් මෙවැනි අවබෝධතා ගිවිසුම් ඔස්සේ මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර තිබේ.

ලොව හදිසි ආපදා තත්වයන්හිදී මෙවැනි ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට විශේෂ වාසි අත්කරගත හැක. බොහෝ රටවල් තමන් සමඟ ගිවිසුම් ගතව සිටින කුඩා රටවලට ආධාර කිරීමට ඉදිරිපත්වීම ඊට හේතුවයි. පසුගිය සමයේ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, අමෙරිකාව, මාලදිවයින, ප්‍රංශය හා කැනඩාව යන රටවලින්. ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම රජයේ අපේක්‍ෂාවයි. මේ සඳහා සංචාරක ආකර්ශනය ඉහළින්ම පවතින යුරෝපා රටවලට සහ ඉන්දියාව, මැද පෙරදිග කලාපය, රුසියාව, යුක්‍රේනය ඇතුළු රටවල් කේන්ද්‍ර කොට ගෙන ගමනාන්ත අලෙවිකරණ හා නියෝජිත ආයතන පත් කිරීමට ද රජය සැලසුම් කර තිබේ. විදේශ රටවල පවතින ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ඔවුන් යෝජනා කරන ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *