තොටස් ඇල්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 787 – සී තොටහා ග්‍රාමසේවා වසම තුල පිහිටි තොටස් ඇල්ල සොබාදහම නිවා සනහාලන සුන්දර පරිසර පද්ධතියකි. ජෛව විවිධත්වයෙන් පොහොසත් නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් වන යගිරල වන රක්ෂිතය තුලින් ආරම්භ වී ගලා එන දොළ මාර්ගයෙන් ඇද හැලෙන තොටස් ඇල්ල සොබා සෞන්දර්යෙන් අනූන සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගෙන ඇති දියඇල්ලකි.

කෙතරම් සුන්දර පරිසර පද්ධතියක් වූවද මෙම සුන්දර දියඇල්ල හා එය පිහිටි රක්ෂිත පරිසරයේ සුන්දරත්වය විදීමට පැමිණෙන සංචාරකයන්ගේ නොහොබිනා ක්‍රියා කාරකම් හේතුවෙන් මේ සොඳුරු දිය ඇලි කොමලිය කලක පටන් දැඩිසේ දූෂණයට ලක්ව තිබුණි. පොලිතීන්, ප්ලාස්ටික්, බියර් ටින්, ආහාර දවටන ආදී නොදිරන කැලිකසල අක්‍රමවත්ව බැහැරකර වීදුරු බෝතල්, බෝතල් කටු ආදිය දිය ඇල්ල වෙත දැමීම නිසා දැඩි පරිසර දූෂණයක් ඇල්ල හා අවට පරිසරයේ සිදුව තිබුණි.

මේ විනාශකාරී ක්‍රියා හේතුවෙන් ගම්වාසීන්ට හා දියඇල්ලේ සුන්දරත්වය විදීමට පැමිණෙන සංචාරකයින් දැඩි අපහසුතා ගෙන දුන් අතර ජෛව විවිධත්වයද දැඩිසේ හායනය වෙමින් පැවතුණි.

මෙම ක්‍රියාදාමයන් වලක්වාලමින් දියඇල්ල සහ අවට පවතින්නා වූ වටිනා පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා කඩිනම් පියවරක් ගත යුතුව තිබූ අතර ඒ සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වැඩ සටහන් කිහිපයක් සූදානම් කරන ලදි. එහි පළමු අදියර වශයෙන් දියඇල්ල සහ අවට පරිසරයේ කැලි කසල ඉවත් කර පරිසර පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා ස්වේඡා පරිසර ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් 2020 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා දින පැවැත්විය. මෙම තොටස් ඇල්ල පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරිකා ජයවික්‍රම මහත්මිය සමගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ නිලධාරී මණ්ඩලය සහභාගී වූ අතර වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ සාමාජිකයන් සහ වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය, මතුගම හරිත මිතුරෝ සංවිධානය යන පරිසර සංවිධාන වල සාමාජිකයන්ගේ දායකත්වයද මේ සඳහා ලැබී තිබුණි.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස විසින් දියඇල්ල සහ අවට රක්ෂිත පරිසරය තුල අක්‍රමවත් අයුරින් තැන තැන දමා තිබූ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර ක්‍රමවත්ව බැහැර කිරීමට කටයුතු කල අතර. ඉදිරියට මෙවැනි විනාශකාරී ක්‍රියා සිදු නොවීම සඳහා සංචාරකයින් දැනුවත් කිරීම සඳහා පුවරු සවි කිරීමටද පියවර ගන්නා ලදි. යලි මෙම සුන්දර භූමිය අපවිත්‍ර කිරීමෙන් වළක්වා ගැනීම සදහා විනාශකාරී නොහොබිනා ක්‍රියා සිදු කරන පුද්ගලයින් හට නීතීය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇල්ල අවට ගම්වාසීන් සමඟ සාකච්ඡා කොට ඔවුන් දැනුවත් කිරීමද සිදුකරන ලදි.

මෙම වැඩසටහන මගින් සිදු වූ වැදගත්ම කාර්ය වූයේ දියඇල්ල සහ අවට පරිසරයේ පිරිසිදු කම පිළිබඳව උනන්දුවක් නොදැක්වූ ජනතාවට ඒ පිළිබඳව සිතා බැලීමට අවස්ථාවක් උදාවීමයි. තරුණ පිරිසක් එකතු වී සිදුකරනු ලැබූ මෙම ක්‍රියාව දියඇල්ලේ සුන්දරත්වය විදීමට පැමිණ සිටි සියළු දෙනාගේම ඇගයීමට ලක්වූ අතර අක්‍රමවත් ලෙස කසල බැහැර කරමින් තමන් විසින්ම තමන්ටම සුන්දරයත් විදීමට ඇති වටිනා පරිසර පද්ධතියක් අපිරිසිදු කර ගැනීමට ක්‍රියාකිරීම පිළිබඳව කනගාටු වන අයුරු දක්නට ලැබුණි. ඉදිරියේදී තමන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් දියඇල්ල සුන්දරව තබා ගැනීම තම වගකීමක් ලෙස සැලකිය යුතු බවත් මෙම වැඩසටහන දෙස බලා සිටි පුද්ගලයින් පැවසූ අතර පැමිණ සිටි සංචාරකයින්ද හැකි අයුරින් මෙම වැඩසටහන හා සම්බන්ධ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *