ශ්‍රී ලංකා-ඉන්දියා … සහයෝගීතාව සියලු අංශවලට යොමු කරමු

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සහයෝගීතාව දෙරටේ රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික, සංස්කෘතික සහ සමාජයීය අංශ ප්‍රධානව බහුවිධ අංශ කෙරෙහි යොමු විය යුතු බවට විශ්වාස කරන්නේ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඉන්දීය සංචාරයක නිරත ව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක් පෙරේදා (8) නවදිල්ලි නුවර හයිද්‍රාබාද් නිවසේ දී පැවැත්විණි. දෙරටේ අගමැතිවරුන් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරු ව එම දෙපළ එක්ව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ අවස්ථාවේ දී රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

දෙරටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ද්වී පාර්ශ්වීය සාකච්ඡාවල දී විශේෂ අවධානයක් යොමු කළ බවත් බුද්ධි අංශවල හැකියාවන් වැඩි දියුණු කිරීමටත්, ත්‍රස්තවාදය පිටු දැකීමටත් ඉන්දියාවෙන් ලැබුණු සහයෝගය අඛණ්ඩ ව ශ්‍රි ලංකාවට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අගමැතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය ධුරයේ වැඩබාර ගැනීමෙන් අනතුරු ව සිදුකරන පළමු රාජ්‍ය සංචාරය වශයෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණීමට ලැබීම ගැන මම බෙහෙවින්ම සතුටු වෙනවා.

අග්‍රාමාත්‍ය මෝදි මහතා සහ මා අද වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කළා. අපගේ සාකච්ඡාවල ප්‍රධාන අවධානය යොමු වූයේ පසුගිය නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිදු කළ සාර්ථක රාජ්‍ය සංචාරය අතරතුර දී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා සමඟ පවත්වන්නට යෙදුණූ සාකච්ඡාවල ප්‍රතිඵල සම්බන්ධයෙනුයි.

“අසල්වැසියාට පළමු තැන” යන ඉන්දීය රජය අනුගමනය කරන ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාව හා පවත්වන සම්බන්ධතාවන්ට ලබා දී ඇති ප්‍රමුඛතාව පිළිබඳ අග්‍රාමාත්‍ය මෝදි මහතාට මාගේ කෘතඥතාව හිමි වෙනවා. අප දෙරට අතර ඇති සහයෝගිතාවය බහුවිධ අංශ කෙරෙහි යොමු විය යුතු බවට අප විශ්වාස කරන අතර රාජ්‍ය ආරක්ෂාව, ආර්ථීක සංස්කෘතික සහ සමාජයීය යන අංශ ඇතුළු තවත් අංශ ගණනාවක් කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වෙනවා.

අප පැවැත් වූ සාකච්ඡාවල දී අවධානය යොමු කළ එක් අංශයක් වශයෙන් දෙරටේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ ව පවත්නා සහයෝගීතාවය දැක්විය හැකිය. අපගේ බුද්ධි අංශවල හැකියාවන් වැඩි දියුණු කිරීමට ත්, ත්‍රස්තවාදය පිටු දැකීමට ත් ඉන්දියාවෙන් ලැබුණු නිරන්තර සහයෝගය අඛණ්ඩ ව අප වෙත ලැබෙනු ඇතැයි අප ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමාගේ රාජ්‍ය සංචාරය අතරතුර දී ප්‍රකාශ කළ කාරණයක් නැවතත් අවධාරණය කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. පසුගිය අප්‍රියෙල් මස අප ලැබූ අත්දැකීම් වලට අනුව අපගේ ජාතික ආරක්ෂක මූලෝපායන් පිළිබඳ ව නැවත වරක් සිතා බැලීමට අපට සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් ඉන්දියාව අප වෙත දක්වන සහාය ඉතා අගය කොට සලකනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉතා කෙටි කළක් ඇතුළත අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරය පිළිබඳව මා එතුමාට ප්‍රසංසා කළා. ඉතා අභාග්‍ය සම්පන්න අවස්ථාවකට මුහුණ දී සිටි අපට එයින් අත්මිදී යළි යථා තත්ත්වයට පත්වීමට එතුමාගේ එම සංචාරය මහත් අස්වැසිල්ලක් වුණා.

අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී ලාංකීය ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් අප වෙත ලබා දුන් ඩොලර් මිලියන 400 ක ණය ආධාරය ත් ත්‍රස්තවාදය පිටු දැකීම වෙනුවෙන් අප වෙත ලබා දුන් ඩොලර් මිලියන 50 ණය ආධාරය ත් මා ඉතා අගය කොට සළකනවා. නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ සංචාරය අතරතුර දී ගත් මෙම ප්‍රයත්නයන් සම්බන්ධයෙන් පසු විපරම් කටයුතු සිදු කිරීම ගැනත් අපි සාකච්ඡා කළා.

නිවාස ඉදිකිරීම් සහ ප්‍රජා පහසුකම් සැපයීමට අදාළව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ඇතුළු ව ඉන්දියානු අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙමින් පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද අප සාකච්ඡා කළා.

රටම ආවරණය වන අයුරින් අදාළ නිවාස ව්‍යාපෘතිය පුළුල් කිරීමට අප වෙත තවදුරටත් සහයෝගය ලබා දීමට කටයුතු කරන මෙන් මා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. එමඟින් රටේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙත වැඩි ප්‍රතිලාභ ලබා දීමට හැකිවන බව මා පෙන්වා දුන්නා.

ආර්ථික වශයෙන් දෙරටට ම වැදගත් වන කාරණාවල දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සාමූහික ව කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අපගේ අවධානය යොමු කළා.

ලෝකයේ වර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිතව සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණෙන ඉන්දීය ආර්ථිකය, වඩා ස්ථාවර ව පවත්වාගෙන යන ඇතැම් ආර්ථිකමය අංශවලින් ශ්‍රී ලංකාව වැනි රටකට ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳව ද මා අග්‍රාමාත්‍ය මෝදි මහතා සමඟ සාකච්ඡා කළා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ නිපුණතා සහ හැකියාවන් සංවර්ධනය යන අංශයන් හි ඉන්දීය සහයෝගය සහ අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන මෙන් මා එතුමාගෙන් ඉල්ලා සිටියා.

නුදුරු දිනක දී ම යළිත් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන මෙන් අග්‍රාමාත්‍ය මෝදි මහතා වෙත අප කළ ආරාධනය යළිත් සිහිපත් කරන අතර ශ්‍රී ලාංකික අප සැම ඔබතුමාගේ පැමිණීම ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවේ ආසන්නම අසල්වැසියා මෙන්ම දීර්ඝ කාලීන මිතුරා ද වන ඉන්දියාවේ සංචාරය කිරීමට ලැබීම ගැන මම ඉමහත් සතුටට පත් වෙනවා. වසර දෙදහසකටත් අධික අතීතයක් දක්වා විහිදෙමින් දෙරට අතර පවතින ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික සබඳතා අපගේ හවුල්කාරීත්වයට ශක්තිමත් පදනමක් සපයනවා.

අවසාන වශයෙන් මා ඇතුළු මාගේ නියෝජිත පිරිස වෙත මෙම රාජ්‍ය සංචාරය මුළුල්ලේ ලබා දුන් අනර්ඝ ආගන්තුක සත්කාරය සහ අනෙකුත් සියලුම පහසුකම් වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ ඉන්දීය රජය වෙත මාගේ හදපිරි ස්තූතිය පිරිනමනවා යැයි කීවේය.

රටේ ජාතික සම්පත්වල පාලනය විදේශවලට නොදීම තම ආණ්ඩුවේ දැඩි ප්‍රතිපත්තිය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ සංචාරයේ නිරතව සිටින අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති හමුව ගැන ද හින්දු පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවක දී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය රජය විශාල ලෙස ණය අරගෙන රට අවුලකට පත්කර ඇති බවත් ආර්ථිකය නිසි පාලනයට ගෙන ඒම සඳහා කාලය අවශ්‍ය බවත් දැනට ගෙවීමට ඇති සිය ණය ප්‍රමාණය ආපසු ගෙවීමට ඉන්දියාව වසර තුනක සහන කාලයක් ලබාදෙන්නේ නම් අනිත් රටවල් ද එය අනුගමනය කරනු ඇති බවත් අගමැතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *