ජාත්‍යන්තර තත්වයේ ආහාර රසායනාගාරය හෙට විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ආහාර නිෂ්පාදන ව්‍යවසායකයින් සඳහා ජාත්‍යන්තර තත්වයේ අහාර රසායනාගාරය හෙට විවෘත කෙරේ.

වත්මන් තාක්ෂණික දියුණුවත් සමඟම මිනිස් ජීවිත ඉතාමත් කාර්යබහුල තත්ත්වයකට පත්වී ඇත. මෙම කාර්ය බහුලත්වය නිසාම ග්‍රාමීය හා නාගරික ලෙස වෙනසක් නොමැතිව බාල මහළු සියලු දෙනා පහසු දිවි පැවැත්මක් උදෙසා කෘතිම හා ක්ෂණික ආහාර පරිභෝජනයට හුරු පුරුදු වී ඇත. මේ නිසා සකස් කරන ලද ආහාර (processed food) කර්මාන්තය සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී. නමුත් එම ආහාර පරිභෝජනය කිරීමේ දී එම ආහාරවල පවතින ගුණාත්මක බව සහ ප්‍රමිතිය පිළිබඳව ගැටළු මතුවේ.

නමුත් සුළු හා මධ්‍යම පරිමාණ ආහාර කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට ඔවුන් නිෂ්පාදනය කරනු ලබන ආහාර වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති අතර, අගනුවරට කේන්ද්‍රගතව ඇති පුද්ගලික අංශයෙන් එම කාර්යය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් රසායනාගාර ජාලයක් ද මේ වන විට නොමැත.

ආහාර කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ගේ මෙම ගැටඑව හදුනාගත්, ලංකාවේ කර්මාන්ත සංවර්ධනය කිරීමේ දැක්ම පෙරදැරිව කටයුතු කරන කාර්මික සංවර්ධන මණ්ඩලයට වසර 50 සපිරෙන මෙම අවස්ථාවේ ඊට සමගාමීව සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන්ගේ ආහාර නිෂ්පාදන පරීක්ෂා කර ජ්‍යාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබාදීම සඳහා අවශ්‍ය ආහාර රසායනාගාරයක් (Food Laboratory) ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

මෙම ආහාර රසායනාගාරය හෙට(13) කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මෙම රසායනාගාරය මගින් ආහාර නිෂ්පාදන පරීක්ෂාව, නිෂ්පාදනවල කල් ඉකුත්වීමේ දිනය පරීක්ෂාව, ලේබල් සඳහා පෝෂණ අන්තර්ගතය පරීක්ෂාව, ආහාර සුරක්ෂිතතාව තීරණය කිරීම, ආහාර විෂ, පළිබෝධනාශක අපද්‍රව්‍ය පරීක්ෂාව වැනි සේවාවන් සපයනු ලබයි.

කටුබැද්ද ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති මෙම රසායනාගාරයෙන් ආහාර නිෂ්පාදනවල සුරක්ෂිතතාවය පිළිබවඳ ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් ආහාර කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *