ගිය වසරේ විදුලි සැර වැදීමෙන් ජීවිත 103ක් අහිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය 2019 වසර තුළ දී විදුලි සැර වැදීම හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කරයි.

එය 2018 වසරට සාපේක්ෂව සියයට 16 ක වැඩි වීමක් වන අතර එම වසරේ දී මරණ 89ක් නාර්තා වී ඇත.

2019 වසරේ විදුලිසැර වැදීම් හේතුවෙන් සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව දකුණු පළාතෙන් වාර්තා වී ඇති අතර අඩුම මරණ සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සදහන්වේ. පසුගිය වසර 5 ක කාලය සැලකිල්ලට ගැනීමේදී ද විදුලිසැර වැදීම් හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ දකුණු පළාතේ බව ද මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙයි. දකුණු පළාත තුළ 2015 – 2019 අතර කාලය තුළ මරණ 97ක් වාර්තා වී ඇත.

වගා ආරක්ෂාවට සහ වන සතුන් දඩයම සදහා අනවසර විදුලි රැහැන් ඇදීම මෙම බොහෝ මරණවලට ප්‍රධානතම හේතු ලෙස සැලකෙන අතර නිවසේ හෝ රැකියා ස්ථානයේ අනාරක්ෂිත විදුලි අළුත්වැඩියා කටයුතු ද මෙම මරණවලට හේතු වී ඇත.

එසේම නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2019 දී වාර්තා වූ විදුලි අනතුරු හේතුවෙන් සිදුවූ මරණ වලින් සියයට 86 ක්ම පිරිමි පුද්ගලයන්වේ. විශේෂයෙන් අවුරුදු 40 ත් 50 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් වඩාත් අවදානමට ලක්විය හැකි වයස් කාණ්ඩ ලෙස මෙහිදී අනාවරණය කර ගෙන තිබේ.

රටේ විදුලි සුරක්‍ෂිතතාවය නංවාලීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ආරක්ෂක රෙගුලාසි ගණනාවක් හඳුන්වා දී ඇත. විදුලිය සුරක්‍ෂිතව භාවිතා කිරීම පිළිබඳ ජනතාවට දැනුමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම ගම්මාන නියෝජනයවන පරිදි ජාතික ආරක්ෂක තානාපතිවරුන්ගේ ජාලයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *