ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීම උත්කර්ෂවත්ව

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 5 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද, ගරු ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතාද සහභාගී වූහ.

මෙම අවස්ථාව විශාල පිරිසක් එක්වීසිටීම,මෙරට වෛද්‍ය උපකරණ කර්මාන්තයේ ඉදිරිගමන පිළිබඳ සුබ පෙරනිමිත්තක් විය.

වේගයෙන් පුළුල් වෙමින් පවතින වෛද්‍ය උපකරණ කර්මන්තය නියෝජනය කිරීම සහ කර්මාන්තයේ පවතින ගැටලූ සඳහා පිළියම් සෙවීම අරමුණු කරගෙන 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය ස්ථාපිත කරන ලදි. ඉහළම ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය උපකරණ මෙරටට හඳුන්වා දීම, සෞඛ්‍ය සේවයේ සියලූම පාර්ශ්වයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම, සාමාජිකයන් අතර සුහදත්වය වර්ධනය කිරීම, වෛද්‍ය උපකරණ ප්‍රවර්ධනය හා අලෙවිය සම්බන්ධ සදාචාරාත්මක මාර්ගෝපදේශ හඳුන්වා දීම, වෛද්‍ය උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම, වෛද්‍ය උපකරණ හා රූපලාවණ්‍ය නිෂ්පාදන සම්බන්ධ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී කර්මාන්තය සහ රජයේ බලධාරී අංශ අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීම යනාදිය එම මණ්ඩලයේ වගකීම් අතරින් ප්‍රධාන තැනක් ගනී.
මේ වනවිට මෙරටට වෛද්‍ය උපකරණ ආනයනය කරන ආනයනකරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, එම නිසා මණ්ඩලයේ සාමාජිකත්වය වේගයෙන් පුළුල් වෙමින් තිබේ. මෙවන් පසුබිමක් තුළ තම දැක්ම හා මෙහෙවර ප්‍රකාශයන්ට අනුව යමින් රට තුළ නිසි නියාමනයක් සහ සමාන අවස්ථා සහිත ආචාරධාර්මික වෛද්‍ය උපකරණ කර්මාන්තයක් පවත්වාගෙන යාමසඳහා ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලය විශාල දායකත්වයක් ලබාදෙයි.

පසුගිය වසර පුරා සිදුකරන ලද සාර්ථක මෙහෙවර නිසා මෙවර මහා සභා රැස්වීමේදීඑම නිලධාරී මණ්ඩලයම 2020 වසර සඳහාද නැවත පත්කරගනු ලැබී ය. මෙම මණ්ඩලයට එරන්දජිත් රණසිංහ (සභාපති), සමන් හුලංගමුව (හිටපු සභාපති), තිලක් ප්‍රනාන්දු (උප සභාපති), නිරංජන් සෙල්වදුරෙයි(උප සභාපති), එස්. ප්‍රභූ (ලේකම්), සංජීව සමරසිංහ (සහකාර ලේකම්) සහ ප්‍රදීප් අමරවර්ධන (භාණ්ඩාගාරික) යන මහත්වරු ඇතුළත් වෙති.

කර්මාන්තයේ උන්නතිය උදෙසා දක්වන ලද දායකත්වය වෙනුවෙන් නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන්ට සිය ස්තූතිය පළකරමින් සභාපති එරන්දජිත් රණසිංහ මහතා මෙසේ පැවසී ය. “පසුගිය වසර අපට සුවිශේෂී වසරක් වුණා. එම වසරේදී අපට වෛද්‍ය උපකරණ ලියාපදිංචිය අතිශයින් පහසු කරවන ‘වෛද්‍ය උපකරණ වර්ගීකරණය කිරීමේ ක්‍රමවේදය‘ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට හැකිවූවා. e-NMRA ක්‍රමය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූ විට ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තවත් පහසු වේවි. කෙසේ වුවත් වෛද්‍ය උපකරණ සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් වෙනම ටෙන්ඩර් ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක කරවීම සඳහා වන උත්සාහය තවමත් සාර්ථක වී නැහැ. මේ සම්බන්ධයෙන් අප දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව සමග සාකච්ඡා කිහිපයක් පවත්වා තිඛෙනවා. තත්ත්වය එසේ වුවත් වෛද්‍ය උපකරණ නියාමනයන් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම කෙරෙහි 2020 වසරේදී අපගේ මූලික අවධානය යොමුවේවි.“

නව වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ මූලික අවධානය යොමුවන කරුණු සම්බන්ධයෙන් සභාපතිතුමන් විසින් මෙහිදී විස්තර කරන ලදි. ප්‍රමාදයන් අවම කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධ ගෙවීම් වලට අදාළව විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග එක්ව සමග වෛද්‍ය උපකරණ සම්බන්ධ නියාමනයන් ක්‍රියාත්මක කිරීම සහ ලියාපදිංචි වෛද්‍ය උපකරණ සඳහා VAT බදු අවලංගු කිරීම යනාදිය ඊට ඇතුළත් වී ඇත.
ක්ෂේත්‍රයේ පරිපාලනය යහපත් ලෙස පවත්වාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා මෙසේ පැවසී ය. “මූලික වශයෙන් ගත්විට සියලූම දෙනා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතුයි. එමෙන්ම සියලූ අඩුපාඩු සම්බන්ධයෙන් නිසි පරිදි වගකීම භාරගෙන, සියලූම මට්ටම් වලදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුයි. අනෙක් අතට, කර්මාන්තයට අවශ්‍ය දැනුම හා ප්‍රතිපාදන ලබාදීමත්, එය නිරීක්ෂණය කරමින් නීතිය ක්‍රියාත්මක කරවීමත් රජයේ වගකීමක්.“

මේ වනවිට වෛද්‍ය උපකරණ කර්මාන්තය කෙරෙහි කවර අභියෝගයන් එල්ල වී තිබුණද 2020 වසර දෙස සුභවාදී ලෙස බැලිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයවිශ්වාස කරනඅතර, මෙම සුභවාදී දැක්ම සමගින් ශ්‍රී ලාංකිකයන්ට විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවන් සැපයීම සඳහා පෙරමුණ ගැනීමට එම මණ්ඩලය සූදානමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *