තීරණයක් ගන්න එජාපය දෙතැනක රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කර තිබේ. මෙම සාකච්ඡාව අද(14) පැවැත්වීමට නියමිතය.

එළඹෙන මහ මැතිවරණයට කෙසේ තරග කළ යුතුදැයි මෙහිදී දීර්ඝව වාදවිවාද කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට යෝජනා වී තිබෙන්නේ ජාතික සමගි බලවේගය නමින් සන්ධානගතව එක්සත් ජාතික පක්ෂය සහ ඊට සහය දක්වන සෙසු පක්ෂ මහ මැතිවරණයට තරග කළ යුතු බවටයෙ.

මෙම සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලකුණ වන අලියා යොදාගත යුතු බවට ද ඇතැම් පාර්ශවයක් යෝජනා කරයි.

කෙසේවෙතත්, පෙරදා පැවැති සාකච්ඡාවකදී හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ අලියා ලකුණ යොදාගන්නේ නම් එක්සත් ජාතික පක්ෂය නමින් සන්ධානගතව සියලූ පක්ෂ මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි.

එසේ නොමැතිව ජාතික සමගි බලවේගය සඳහා අලියා ලකුණ ලබාදිය නොහැකි බව ද රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබේ.

ජාතික සමගි බලවේගයේ ඡන්ද ලකුණ ලෙස දැනට ප‍්‍රකාශ වී ඇත්තේ හදවතයි. ඒ අනුව හදවත ලකුණින් ජාතික සමගි බලවේගය නමින් මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසක් යෝජනා කරයි.

මේ අතර රනිල් පාර්ශවයේ සහ සජිත් පාර්ශවයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අතර ද අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි සදහන් කරනු ලැබේ. බොහෝවිට ඡන්ද ලකුණ සම්බන්ධයෙන් අවසන් එකගතාවන්ට දෙපාර්ශවය එහිදී එළඹෙනු ඇතැයි ද විශ්වාසය පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *