සහල් මිල ස්ථාවර කරන්න මෙට්‍රික් ටොන් 24000ක ආරක්ෂිත සහල් සංචිතයක්

(කොළඹ, ලංකාපුවත්) –ආහාර සුරක්ෂිතතාව හා වෙළඳපොළ සහල් මිල ස්ථාවර කිරීම සඳහා ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මේ සඳහා වූ යෝජනාව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන ඇමති චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇත.

ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නා වී තොග ලබාගෙන සම්බා සහ නාඩු මෙට්‍රික්ටොන් 20,000- 35,000ක ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාමට ඒ අනුව හැකි වන බවයි. සෑම වසරකම පාහේ නොවැම්බර්, දෙසැම්බර් වනවිට සහල් වෙළඳපොළෙහි මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් එම කාලයේ දී බෙදා හැරීම සඳහා සහල් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් පවතින බවත් මෙට්‍රික්ටොන් 24,000ක සහල් ආරක්ෂිත තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ගබඩා ඉඩකඩ මේ වන විට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, අමාත්‍යවරයා පැවසීය. සහල් මිල වැඩිවන අවස්ථාවල දී පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත සහල් තොග සතොස හරහා වෙළඳපොළට රජයේ සහතික මිලට නිකුත් කිරීම මඟින් සහල් මිල ස්ථායි මට්ටමක පවත්වාගෙන යාම අපේක්ෂා කරන බවද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සහල් තොග අතිරික්තයක් තිබෙන අවස්ථාවල දී ඒ තොග සහතික මිල යටතේ රජය ලබාගෙන, මහින්ද රාජපක්ෂ යුගයේ දී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉදිකළ දැවැන්ත ගබඩා සංකීරණයේ ගබඩා කර තැබෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, සෑම වර්ෂයකම වෙළෙඳ පොළේ භාණ්ඩ මිල උච්ඡාවචනයෙන් සැපයුම අඩු වන කාලයට විශාල ලෙස ඉහළ මිලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් පසුගිය කාලයේ සහල් මිල විශාල ලෙස ඉහළ යාමෙන් සහල් පරිභෝජනය කරන අතිමහත් ජනතාව පීඩාවට ලක් වුණා.

අස්වනු නෙළන කාලයට වෙළෙඳපොළේ සහල් මිල අඩු වෙනවා. වී විකුණගන්න බැරි වෙනවා. මේ තත්ත්වය ක්‍රමාණුකූල තත්ත්වයට පත් කිරීමේ අසීරුතාවක් ඇති වී තිබෙනවා. ඊට හේතුව තමයි රට සහලින් ස්වයංපෝෂිත තත්ත්වයේ තමයි පැවතුනේ. කොතරම් ස්වයංපෝෂිත තත්ත්වයේ පැවතුනා ද කියනවා නම් 2014 වර්ෂයේ දී රට බාර දෙන විට සහලින් ස්වයංපෝෂණය වෙලා. 2015 වන විට ඊට විශාල අතිරික්ත වී නිශ්පාදනයක් ලංකාවේ තිබුණා. ඒ නිසා සියලුම ගබඩා පිරී ඉතිරී යාම හේතුවෙන් අතිරික්ත වී ගබඩා කිරීමට කිසිම ගබඩාවක් නැතුව ඉතිහාසයේ පළමු වතාවට ලෝක ඉතිහාසය වෙනස් කරමින් ගුවන් තොටුපොළක වී තොග ගබඩා කිරීමට රජයට ඉතා නරක තීරණයක් ගැනීමට සිදු වුණා. රටක කොතරම් අතිරික්තියක් ඇති වුණත් ලෝකයේ කිසිම රටක අතිරික්තය ගුවන් තොටුපොළක ගබඩා කර නැහැ. මත්තල ගුවන් තොටුපොළේ ගබඩා කිරීමට තරම් දැවැන්ත වී අතිරික්තයක් එදා මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය යටතේ ඇති වී තිබුණා. නමුත් ඉන්පසු 2015- 2019 කාලයේ පොහොර සහනාධාරය කපා හැරීම, ගොවීන්ට අවශ්‍ය බීජ ලබා නොදීම, ගොවීන්ට සාධාරණ මිලක් නොලැබීම යනාදී හේතු කාරණා රැසකට අතිරේකව කොමිස් හා ලාභ ලැබීමේ අරමුණින් හාල් තොග වශයෙන් විදේශයන්ගෙන් ආනයනය කිරීම හේතු කොට ගෙන ලංකාවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් කඩා වැටුණා. අද සමහර කෘෂිකර්ම විෂය බාර සහල් ආනයනය භාර ඇමැතිවරුන්ට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසමෙත් අනෙකුත් අංශවලත් විශාල පරීක්ෂණ පැවැත්වෙනවා. සහල් මෙට්‍රික් ටොන් කෝටි ගණනක් රටට අතිරික්තව ගෙනැල්ලා සත්ව ආහාර හා වෙනත් සේවා සඳහා විකුණලා මහා විනාශයක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කළා. ඒ නිසා ඊට දිගු කාලීන පිළියමක් වශයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා සහල් තොග අතිරික්තයක් තිබෙන අවස්ථාවලදී ඒ තොග සහතික මිල යටතේ රජය ලබා ගෙන, මහින්ද රාජපක්ෂ යුගයේ දී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉදි කළ දැවැන්ත ගබඩා සංකීරණයේ ගබඩා කර තබා හිගයක් පවතින අවස්ථාවල දී ක්‍රමාණුකූලව වෙළෙඳපොළට නිකුත් කර මිල ස්ථායිකරන විධිමත් වැඩපිළිවෙළක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා.

ඒ අනුව අනාගත කාල පරිච්ඡේදයේ දී සහල් හා අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ස්ථායිකරණයක්ට විධිමත් ඵලදායී වැඩපිළිවෙළකට රජය මැදිහත් වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන හා අවශ්‍ය කරන අනෙකුත් කරුණු ඉටු කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *