සෞභාග්‍යයේ දැක්මෙන් උපාධිධාරීන්ට ගුරු පත්වීම් 18,000ක්

(කොළඹ, ලංකාපුවත්) –‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව උපාධිධාරීන්ට රැකියා ලබාදෙන වැඩසටහන යටතේ ගුරුපත්වීම් 18000ක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව උපාධිධාරීන් සඳහා ලබාදෙන රැකියා 54000න් 18000ක්ම ගුරු පත්වීම් බව අධ්‍යාපන තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

තිහගොඩ කෝමංගොඩ මහේෂා උත්සව ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඇමැතිවරයා මෙසේ ද කීවේය.

පැවති යහපාලන රජය ක්‍රියා කළ අන්දමට නොව වත්මන් රජය යටතේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී බාහිර හා අභ්‍යන්තර උපාධිධාරීන් වශයෙන් නොසලකා සැමට භේදයකින් තොරව රැකියා ලබාදෙන බව කීවේය.

ග්‍රාම නිලධාරී මට්ටමින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) දක්වා අධ්‍යාපනය ලබා දැනට රැකියා විරහිතව සිටින තරුණ තරුණියන් ලක්ෂයක පමණ ශ්‍රම බළකායක් පිහිටුවා ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමෙන් පසුව රැකියා ගත කිරීමේ සැලැස්මක් ද වත්මන් රජය ආරම්භ කර තිබෙන බවත් ඒ යටතේ දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අඩුම වශයෙන් තරුණ තරුණියන් 6 සඳහා රැකියා අවස්ථා ලැබෙන බව පැවසීය.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී චන්දන සිරිබද්දන, තිහගොඩ ප්‍රාදේශීය සභාපති නිර්මාල් සමරසිංහ මහත්වරු ඇතුළු පිරිසක් රැස්වීම ඇමතූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *