ඇටම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය අගමැති අතින් විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බදුල්ල, හාලිඇල ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ගැටළුවට විසඳුමක් ලෙස ඇරඹූ ඇටම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණ.

ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා පිරිපහදු කරන ලද පානීය ජලය සම්පාදනය මෙම ව්‍යාපෘතියේ අරමුණයි. වර්තමාන හා අනාගත ජල අවශ්‍යතා සපුරාලීම සඳහා නල ජල පහසුකම් ලබාදීම මගින් එම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය සහ ජීවන මටටම ඉහළ නැංවීමද මෙම ව්‍යාපෘතියේ අරමුණකි.

මෙම ව්‍යාපෘතිය මඟින් ඇටම්පිටිය, ඌව මහවෙලගම, නෙළුදණ්ඩ, දෙහිවින්න, හින්නාරන්ගොල්ල, නිලිඅතුගොඩ, කුඩුමහුවෙල, නෙළුව, පල්ලෙගම, මාලිගාතැන්න, වෑපස්සාවෙල, කටුගහ යන ග්‍රාම නිලධාරී වසම් 12ක ජනතාව වෙනුවෙන් පානීය ජල පහසුකම් සැපයේ.

පුහුල්පොල ජලාශ්‍රය මූලාශ්‍ර කර ගනිමින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතියෙන් පානීය ජල පහසුකම් ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව 15000 කි. මෙම ජල ව්‍යාපෘතියේ පළමු අදියර මඟින් ප්‍රතිලාභී පවුල් 3000ටත්, දෙවන අදියරේදී තවත් ප්‍රතිලාභී පවුල් 3000ටත් පානීය ජල පහසුකම් සැලසේ.

පිරිසිදු පානීය ජලය නොමැතිවීමේ ගැටලුවෙන් බදුල්ල ප්‍රදේශයේ ජනතාව දිගුකාලයක් තිස්සේ පීඩා විදි අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බලා 2014 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *