නවීන තාක්ෂණයෙන් කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය දියුණු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – නවීන තාක්ෂණය යොදාගනිමින් කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධණ ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගෙන ඇත.

යාපනය කරෙයිනගර් හි පිහිටා තිබෙන බෝට්ටු නිෂ්පාදනාගාරයේ කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා එහි සංචාරයක නිරත වූ ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ඒ සඳහා කටයුතු කරන ලෙස අදාල නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

රටට ඵලදායී ලෙස මෙම බෝට්ටු නිෂ්පාදනාගාරය දියුණු කිරීම පිළිබඳ සී නෝර් පදනම් ආයතනයේ ඉහළ නිලධාරීන් හා මෙරට ධීවර ක්ෂේත්‍රයට විශාල ආයෝජන ප්‍රමාණයක් ලබා දෙන නෝර්වීජියානු ආයෝජකයන් පිරිසක් සමගද ඇමැතිවරයා පසුගියදා සාකච්ඡාවක නිරත විය.

මෙහිදීධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා නියෝජිත පිරිසක් අමතමින් කියා සිටියේ පසුගිය වකවානුවේ අක්‍රමවත් ලෙස බෝට්ටු නිෂ්පාදන කටයුතු සිදුවූ කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය රටට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුත් බෝට්ටු හා අනෙකුත් ධීවර ආම්පන්න නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස වැඩිදියුණු කිරීමට අවශ්‍ය බවයි.ඒ සඳහා නෝර්වීජියානු රජයේ භාවිතා කරන බෝට්ටු සඳහා යොදා ගන්නා නවීන තාක්ෂණය අප රටේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුණු කිරීමට ලබා දෙන ලෙසත් ඇමැතිවරයා මෙහිදී ඉල්ලා සිටියේ ය.

මෙම අවස්ථාවට සී නෝර් ආයතනයේ නිලධාරින් පිරිසක් ද ඇතුළුව නෝර්විජියානු ආයෝජකයින් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *