ලෝක ත්‍රස්තවාදයට යුදමය විසඳුමක අවශ්‍යතාව මතුවෙලා

(කොළඹ, ලංකාපුවත්) –අද ලෝකයේ එකිනෙක රාජ්‍යයන් අතර යුද කිරීමේ ප්‍රවනතාව අඩු වුවද ත්‍රස්තවාදයට යුදමය විසඳුමක් සෙවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) ත්‍රිකුණාමලය චීන වරායේ පැවැති ගුවන් හමුදා නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාවන් හැදෑරූ ගුවන් නියමුවන්ට පියාසර ලාංඡන පැළඳවීමේ උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අගමැතිවරයා කියා සිටියේ අපේ ගුවන් හමුදාවට ගුවනින් කෙරෙන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් කිසිදු හමුදාවකට නොමැති සුවිශේෂී අත්දැකීම් ඇති බවය.

කිසිදා පරාජය කළ නොහැකි යැයි පැවැසූ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ හැකියාව ඇතිවූවේ අභිමානවත් ත්‍රිවිධ හමුදාවේ ගුවන් අංශය විශේෂ දායකත්වයක් ලබා දුන් බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ ගුවන් හමුදා අතරින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කොට වැඩිම අත්දැකීම් සම්භාරයක් ලබා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යැයි තමා සිතන බව ද අගමැතිවරයා කියා සිටියේය.

ලොව භයානකම ත්‍රස්තවාදී සංවිධානය වන කොටි සංවිධානය සමඟ සටන් වදින අවධියේ දී ඔවුන්ගේ කඳවුරු භූමි තුළට ගුවන් හමුදාව බිහිසුණු අවධානමක් ගෙන හෙලිකොප්ටර් යානා බස්සවා තුවාලකරුවන් ඉවත් කිරීම, ආයුධ සැපයීම ගුවන් ප්‍රහාර එල්ල කරමින් යුද හමුදාවට උපකාර වූ ආකාරය යුද්ධයේ වීර වෘත්තාන්තවලට එක්වී අවසන් බව ද අගමැතිවරයා කියා සිටියේය.

මේ අවස්ථාවට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා චීන වරාය විද්‍යා පීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් උදේනි රාජපක්ෂ මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් හා සෙසු නිලයන් ද ආධුනික කෙඩෙට් නිලධාරීන්, නිලධාරිනියන්, අධිකාරියට පත් නිලධාරීන්ගේ මවුපියන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

යුද්ධය පවත්නා අවස්ථාවල පමණක් නොව සාමය පවත්නා අවස්ථාවලදී ද ත්‍රවිධ හමුදාවන්ට විශාල කාර්ය භාරයක් පැවැරෙන බව පෙන්වා දෙන අගමැතිවරයා, ගංවතුර වැනි ආපදා අවස්ථාවන්වලදී ද ගුවන් හමුදාවෙන් සිදු කෙරෙන මානුෂීය කාර්ය භාරය පිළිබඳ ද සිහිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *