අල්ලස් චෝදනාවකට විනිසුරු සුනිල් අබේසිංහට වසර 16 ක සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් ලක්ෂ 03 ක අල්ලසක් ගැනීමේ චෝදනාවකට වරදකරුවන් වූ හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 16 ක සිරදඬුවම් නියම කරයි.

මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් 20000 බැගින් දඩ ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් එක් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

එසේම අල්ලස් ගත් රුපියල් ලක්ෂ 3 ක මුදල දන්ඩණයක් ලෙස අයකර ගන්නා ලෙසට කොළඹ මහාධිකරණය වැඩිදුරටත් නියෝග කරන ලදි.

2013 වසරේ මැයි මස 27 වැනිදා සහ 05 වනදා අතර කාලසීමාව තුළ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචි දීපිකා ශ්‍යාමලී නැමැති කාන්තාවක් විසින් හෝමාගම දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව වගඋත්තරකාර පාර්ශවයට පක්ෂග්‍රාහීව තීන්දුව ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා හතරක් යටතේ හිටපු දිසාවිනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි යන අයට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *