සංවර්ධනය, ආරක්ෂාව, සුබසාධනය සැලසීමේ දී රාජ්‍ය නිලධාරීන් අවංකව නොබියව තීන්දු ගන්න

(කොළඹ, ලංකාපුවත්) –පොදු ජනතාවගේ සංවර්ධනය, ආරක්ෂාව සහ සුබසාධනය සැලසීමේ කටයුත්තේ අවංක චේතනාවෙන් නිරත වන රාජ්‍ය නිලධාරීන් එය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා නොබියව තීන්දු තීරණ ගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නිමාවට පත්වූ ජනාධිපතිවරණයේ දී පැහැදිලි ජනවරමක් ලබාදෙමින් මෙරට ජනතාව අපේක්ෂා කළ නිදහසේ ජීවත්වීමට සුරක්ෂිත රටක් බිහි කිරීමේ ප්‍රාර්ථනාව මේ වන විට ඉටු කොට ඇතැයි ද කී ජනාධිපතිවරයා, එළැඹ තිබෙන මොහොතේ රටේත් ජනතාවගේත් ආර්ථික දියුණුව ඇති කරලීමට ක්‍රියා කරමින් සිටින බව ද කියා සිටියේය.

රට පුරා විහි දී ඇති අබලන් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ඓතිහාසික මහනුවර පේරාදෙණිය – ගලහා – දෙල්තොට – රිකිල්ලගස්කඩ මාර්ගයෙන් සමාරම්භ කිරීමේ උත්සවය ඊයේ (19) ආරම්භ කළ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමින් ජනාධිපතිවරයා ‍මේ බව කියා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන රට පුරා විහි දී ඇති අබලන් ග්‍රාමීය මාර්ග කි. මී. 100, 000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ පේරාදෙණිය – ගලහ – දෙල්තොට – රිකිල්ලගස්කඩ මාර්ගයෙන් ආරම්භ කෙරිණි.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය ජනතාවට ජාතික මහාමාර්ග පද්ධතියට ප්‍රවේශවීම සඳහා වඩාත් කාර්යක්‍ෂම පහසුකම් සැලසීම පිණිස ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගවලට තදබදයෙන් තොරව ඇතුළුවිය හැකි ආකාරයට අතුරු මාර්ග කි. මී. 100, 000 ක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ.

මෙම මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථ ලෙස රටේ දැනට අබලන්ව පවතින මාර්ග ජාලය කඩිනමින් වැඩිදියුණු කිරීම සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතන සතු ග්‍රාමීය මාර්ග පුළුල් කර වැඩිදියුණු කිරීමයි.

මීට අමතරව මාර්ග සංවර්ධන අධිකාරිය සතු වැඩිදියුණු කලයුතු මාර්ග පුළුල් කර වැඩිදියුණු කිරීම, මංසන්ධි වැඩිදියුණු කිරීම, විද්‍යුත් වර්ණ සංඥා පද්ධති ස්ථාපිත කිරීම, පදික මාරු, මාර්ග සංඥා, මගී උමං මාර්ග සහ මගී ගුවන් පාලම් ස්ථාපිත කිරීම නව ව්‍යාපෘතියට ඇතුලත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *