ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් මගින් දිළිඳුබව තුරන් කිරීම අරමුණයි- ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ඊයේ(20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය. “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ. සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට මෙහිදී ස්ථීර පත්වීම් ප්‍රදානය කරනු ලැබීය. පසුගිය වසර පහේදී ස්ථීර පත්වීම් නොලද සමෘද්ධි නවක පත්වීම්ලාභීන් ස්ථීර කිරීමේ වැඩපිළිවෙළ යටතේ පත්විම් ප්‍රදානය කෙරිණ.

සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාවට ජීවත්විය හැකි අයුරින් ආදායම් මට්ටම නැංවීම රජයේ අරමුණයි. එහි එක් පියවරක් ලෙස අඩු අදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලත්‍ෂයකට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන සැලසුම් කර තිබේ. පිරිස තෝරාගැනීමේ දී සමෘද්ධි සහ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. “අපේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක්. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද සඳහා වැය කරන්නේ මහජන මුදල්. විධිමත් අයුරින් රාජ්‍ය ආදායම මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේ නම් සියලු අංශවල වරප්‍රසාද සහ අයිතීන් සහතික කරන්න පුළුවන්. රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දීනා දීමට සූදානම්. රාජ්‍ය සේවකයන් සිය වගකීම රට වෙනුවෙන් ඉටු කළ යුතුයි”. ජනාධිපතිතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *