මහා ශිව රාත්‍රියේ දල්වන පහනෙන් සියලුදෙනාගේ ආධ්‍යාත්මය ආලෝකමත් වේවා

(කොළඹ, ලංකාපුවත්) –මහා ශිව රාත්‍රි දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද(21) දිනයේ දල්වන පහනෙන් සියලුදෙනාගේ ආධ්‍යාත්මය ආලෝකමත් වේවා යන්නයි.

“ලොව පුරා හින්දු ලබ්ධිකයන් උපවාස ශීලය සමාදන් වී ‘මෝහාන්ධකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම’ සලකුණු කරන මහා ශිව රාත්‍රී දින උළෙලට පේවී සිටින ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන් සමඟ මම ද සතුටින් එක්වෙමි.

හින්දු ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවවලින් එකක් වන මහා ශිව රාත්‍රිය පුරා සිදු කරන අනේකවිධ ආගමානුකූල ක්‍රියාකාරකම් වලින් මිනිසාගේ නිසර්ගයෙන් දක්නා දුර්ගුණ ඉවත්ව මානසික පවිත්‍රතාව අත්පත් කර ගත හැකි බව හින්දු බැතිමත්හු විශ්වාස කරති.

අනේකවිධ කැළඹිලි, ඝට්ඨන මැද ඉදිරියට යන ලෝකයක මිනිසාට මානසික ශාන්තිය උදාකර දෙන්නේ ආගමයි. නව ජවයකින් අලුත් හෙටක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින ශ්‍රී ලාංකිකයන් අතරට අපගේ සහෝදර දෙමළ ප්‍රජාව ද අයත් වෙති. අන්තර් ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා කුළු ගන්වමින් රටේ සෑම ජන කොටසක්ම සිය මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටිනු දැකීම රටේ නායකයා වශයෙන් මට මහත් සතුටකි. මහා ශිව රාත්‍රියේ දල්වන පහනේ ආලෝකයෙන් සියලු දනන්ගේ ආධ්‍යාත්මය ආලෝකමත් වේවායි පතමි.” යැයි සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *