අත්යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තයේ ප්‍රවර්ධනයට දීර්ඝ කාලීන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – අත් යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තයේ ප්‍රවර්ධනයට දීර්ඝ කාලීන ක්‍රමවත් සැලැස්මක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය විසින් සකස්කරයි.

මෙම සැලසුම යටතේ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ යුතු තීරණ රැසක් පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ හා අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගන්නා ලදී.

මෙහිදී අත්යන්ත්‍ර රෙදි පිළි අළෙවිය සඳහා විශේෂිත අළෙවි මධ්‍යස්ථානයක් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවීමටත් එම අළෙවි මධ්‍යස්ථානය මඟින් සහන මිලට අත්යන්ත්‍ර රෙදිපිළි පාරිභෝගිකයන් හට ලබාදීමට වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට තීරණය කරන ලදී. එසේම සංචාරක කේන්ද්‍රස්ථාන මුල්කරගනිමින් ලක්සල හා සළුසල ආයතන සමඟ එක්ව අළෙවි සැල් ආරම්භ කිරීමටත් එමඟින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් අතර අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක් සකස්කිරීමටත් තීරණය විය.

රාජ්‍ය සේවකයින් සඳහා අත්යන්ත්‍ර රෙදිපිළි හදුන්වා දීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් පුද්ගලික අංශයේ නිල ඇඳුම් සඳහා ද අත්යන්ත්‍ර රෙදි පිළි ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද තීරණය වූ අතර අත්යන්ත්‍ර රෙදි පිළි සඳහා ශ්‍රී ලංකා ඇඟලුම් හා පේෂකර්ම ආයතනය මගින් සහතික කර ලේබලයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් මෙම වසර තුලදීම ආරම්භ කිරීමට තීරණය කළ අතර එමගින් අත්යන්ත්‍ර රෙදි පිළි වල සෞඛාරක්ෂිත බව තහවුරු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මේ වන විටත් ලෝකයේ අත්යන්ත්‍ර රෙදි පිළි සඳහා ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් තවදුරටත් විදේශිය වෙළඳ පළ ප්‍රවර්ධනය කිරීමටත් සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරාගත් නිෂ්පාදකයන් සඳහා විදේශිය අළෙවි ප්‍රදර්ශණ වලට සහභාගි වීමට අවස්ථාව සලසා දීමටත් අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ වැඩපිළිවෙළක් සකස් කිරීමට එකඟ වූ අතර තත්වයෙන් උසස් නූල් පහසු මිලට අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදකයන් වෙත ලබාදීමටත් දැනට පවත්වාගෙන යන නූල් වර්ණ ගැන්වීමේ මධ්‍යස්ථාන වල තත්වය දියුණුකර එම මධ්‍යස්ථාන කාර්යක්ෂමව පවත්වාගෙන යාමටත් මෙම සාකච්ඡාවේදී තීරණය කරන ලදී.

මෙම සාකච්ඡෘව සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පළාත් පේෂ කර්මාන්ත අධ්‍යක්ෂකවරු, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ඇඟලුම් හා පේෂකර්ම ආයතනය, ලක්සල, සළුසල යන ආයතන වල නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *