කෙරවලපිටිය එල්එන්ජී බලාගාරයේ ඉදිකිරීම් මේ වසරේ දී

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේදී කෙරවලපිටිය ද්‍රව ස්වාභාවික වායු (එල්එන්ජී) බලාගාරය ඉදිකිරීමට රජය තීරණය කර ඇති බව විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෙරවලපිටිය එල්එන්ජී බලාගාරය මගින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරනු ඇත.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ(23) හම්බන්තොට මැදමූලන රළුව ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමිනි. එම ප්‍රදේශයේ ගොවි ජනතාවට ගොවි උපකරණ බෙදා දීම අමාත්‍යවරයා අතින් සිදුවිය.

බලශක්ති පද්ධති සවිගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම ඉතා ප්‍රමාද වී ඇත්තේ ඇතැම් පාර්ශවයන්ගේ අකාර්යක්‍ෂතාව හේතුවෙන් බව ඇමතිවරයා සදහන් කළේය.

කෙරවලපිටිය බලාගාරය ඉදිකිරීමෙන් කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

එපමණක් නොව, දැනට පවතින හදිසි විදුලිය ඉහළ මිලකට මිලදී ගැනීම නැවැත්වීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති පාඩු ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම මහජනතාවට අඩු මුදලට විදුලිය ලබා දීම මගින් ඔවුන්ගේ විදුලි අඩු කිරීමට අපිට හැකි වෙනවා යැයිද අමරවීර අමාත්‍යවරයා කීය.

රට විදුලි බලයෙන් සුපෝෂික රටක් බවට පත් කිරීමට මේවන විට සියලු පියවර ගෙන ඇති බවත් මේ වසර අවසන්වන විට විදුලිබලාගාර පහක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 19 =