බන්ධනාගාර රැඳවියන්ගේ සිතුවම් දැක්මක්

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර ගත රැඳවියන්ගේ සැඟවුණු කුසලතා එළිදැක්වෙන සිතුවම් දැක්මක් ,බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කර තිබේ.

‘සිරගත වුවද අපගේ නිදහස් අදහස් ඔබට යමක් පවසනු ඇත’ තේමාව කරගනිමින් පැවැත්වෙන මෙම සිතුවම් දැක්ම මාර්තු 02,03,04 තෙදින තුන තුළ කොළඹ ජාතික කලා භවනේදී පැවැත්මට නියමිතය.
රැඳවියන්,තමන් කැමැති මාතෘකාවක් ඔස්සේ සිතුවම් කළ චිත්‍ර 162ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විජයනාත් තෙන්නකෝන් මහතාගේ උපදේශකත්වය සහ මගපෙන්වීම මත සංවිධානය කෙරෙන මෙම සිතුවම් දැක්මට බන්ධනාගාර රැදවියන් 50 දෙනකුගේ සිතුවම් ඇතුලත් වෙයි.

රැඳවියන්ගේ නිසඟ හැකියාවන් එළිදැක්වෙන මෙම සිතුවම් දැක්ම පිළිබඳව අදහස් දක්වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ පුද්ගලයන් සිරගත වුවද ඔවුන්ගේ සහජ කුසලතාවන් සිරගත විමට ඉඩ නොදීමත් ඔවුන්ගේ කලා කුසලතා පොදු මහජනතාවට දැක බලා ගැනීමට ඉඩ ලබා දීමත් අරමුණු කර ගනිමින් මෙම සිතුවම් දැක්ම පවත්වන බවයි.

‘ලංකාවේ බන්ධනාගාර 30 ම සිටින රැඳවියන්ට අප විවෘත ආරාධනාවක් කළා දියසායම් ,පැන්සල් හෝ තමන් කැමති ඕනෑම මාධ්‍යයකින්,තමන් කැමති මාතෘකාවක් ඔස්සේ චිත්‍ර නිර්මාණය කර එවන ලෙස.ඒ අනුව බන්ධනාගාර 30න්ම අපට චිත්‍ර 600ක් පමණ ලැබුණා.

චිත්‍ර කර්මය පිළිබඳ ගුරු උපදේශකයන්ගෙන් යුතු කමිටුවක් මගින් , එම සිතුවම් නිර්මාණය කළ රැඳවියන්ගෙන් 60 දෙනකු තෝරා ගත්තා.මේ සඳහා ටික කලක් ගත වීම නිසා මේ අයගෙන් ඇතැම් රැඳවියන් ඇප ලබා හෝ නිදහස ලබා ගොස් තිබුණා.ඒ නිසා අප රැඳවියන්ට යළී කළ ආරාධනයෙන් යාපනය බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනකු ද මේ සිතුවම් දැක්මට එක්වුණා.ඉන්පසු මෙම රැඳවියන්ට ,විශ්ව විද්‍යාල ගුරු උපදේශකයන් මගින්චිත්‍ර නිර්මාණය පිළිබඳව වැඩිදුර ප්‍රායෝගික පුහුණුව ලබා දුන්නා. දැන් ඔවුන්ට චිත්‍රකර්මය පිළිබඳව හොඳ දැනුමක් තිබෙනවා. මෙම ප්‍රදර්ශනයට ඔවුන් ඉදිරිපත් කරන කැන්වස් චිත්‍ර ඉතා නිර්මාණශිලියි. මෙම ප්‍රදර්ශනය නරඹන්නට පැමිණෙන ලෙස සියලු දෙනාට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආරාධනා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − four =