පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය

(කොළඹ, ලංකාපුවත්) –ආරක්ෂක, වෙළෙඳ, පුද්ගල සබඳතා, අන්තවාදයට එරෙහිව සටන් කිරීම හා ආගමික සහජිවනය ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර ඇතුළු වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකදී ශ්‍රී ලංකාවට අවශ්‍ය උපරිම සහාය දීමට පාකිස්ථානය සූදානමින් සිටී.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් කත්තක් මහතා (Muhammad SaadKhattak) ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව සහතික කෙරිණි. දෙරට අතර දැනටමත් යහපත් ආරක්ෂක සහයෝගීතාවක් පවතින හෙයින් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළෙදාම ප්‍රවර්ධනය කෙරෙහි තම අවධානය යොමුව තිබෙන බව මහ කොමසාරිස්වරයා පැවසීය.

දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට අවස්ථාව සලසා දෙන සම්මන්ත්‍රණයක් එළැඹෙන අප්‍රේල් මාසයේ දී සංවිධාන කිරීමෙහි පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය මේ දිනවල නිරත සිටී.
වෛද්‍ය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ශ්‍රී ලාංකික සිසුන් දාහකට පාකිස්ථානය පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි. සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ට අයැදුම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය මෙම වැඩසටහනට පුළුල් ප්‍රචාරයක් ලබාදෙයි. අයදුම්කරුවන් සම්මුඛ සාකච්ඡාවන්ට ලක් කිරීම සදහා පකිස්ථාන බලධාරීන් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.මේ ශිෂ්‍යත්ව වැඩසටහනට අමතරව උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීමද පාකිස්ථානය උනන්දුවක් දක්වන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලයේ සිට පාකිස්ථානය මේ ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාවට නැංවූ බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සිහිපත් කළේය. ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දරුවන්ට විශේෂයෙන් රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දරුවන්ට ඉන් ප්‍රතිලාභ අත්විය. ආගමන කටයුතුවල වඩා යහපත් සබඳතාවක අවශ්‍යතාව පිළිබදව ද ජනාධිපතිතුමා සහ මහකොමසාරිස්වරයා සාකච්ඡා කළහ. ප්‍රශ්නකාරී පසුබිමක් සහිත පුද්ගලයන්ගේ ගමනාගමනය පාලනය කිරීමේ දෙරටේ ව්‍යායාමයන්ට මෙය උපකාරී වනු ඇත. පෞරාණික අධ්‍යාපනික ඉගෙනුම් මධ්‍යස්ථානයක් වන තක්ෂිලාව ප්‍රවර්ධනය කිරීමේ දී පකිස්ථානය ඉටුකරන විශිෂ්ට කාර්ය භාරය ප්‍රශංසාවට ලක් කළ ජනාධිපතිතුමා ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය දෙන බව ද පැවසීය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් Tanvir Ahmad දෙවන ලේකම් (දේශපාලන) Ayesha Abu BakrFahad, යන මහත්ම මහත්මීහු සාකච්ඡාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *