සූරියවැවට ක්‍රිකට් වසන්තය – ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර දෙවැනි එක්දින තරගය අද

(කොළඹ, ලංකාපුවත්) –වසර 2017 ජූලි මාසයේ සිම්බාබ්වේ පිල සමග පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව පළමුවරට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය අද (26) ශ්‍රී ලංකා පිල සහ කොදෙව් පිල අතර පැවැත්වේ. මෙය දෙපිල අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගය වන අතර පස්වරු 2.30ට තරගය ආරම්භ කෙරේ.

මාස 27ක කාලයකින් පසුව සුරියවැවට ක්‍රිකට් වසන්තය උදා කරමින් අද පැවත්වෙන දිවා රාත්‍රී එක්දින තරගයට අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රොක් වනු ඇතැයි බලාපොරොත්තුවේ.

මීට පෙර අවසන් වරට 2017 ජූලි මාසයේ සිම්බාබ්වේ පිල සමග පිට පිට පැවැති එක්දින තරග 2ම ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූ අතර අද තරගය ජය ගනිමින් තරග 3කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජයගැනීම නායක දිමුත් කරුණාරත්නගේ බලාපොරොත්තුව වී තිබේ.

වියළි හා උණුසුම් කාලගුණයක් පවතින බැවින් සූරියවැව තණතීරුවේ කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම දෙවැනි වර පන්දුවට පහරදීම තෝරාගනු ඇත. රාත්‍රී කාලයේ දැඩි සුළං තත්ත්වයක් ද පවතින බැවින් පන්දු යැවීම තරමක් දුෂ්කර වනු ඇත.

වසර 2011 සිට මේ දක්වා සූරියවැව ක්‍රීඩාංගණයේදී එක්දින තරග 20ක් පවත්වා ඇති අතර ඉන් වැඩි තරග ප්‍රමාණයක් ජයගෙන ඇත්තේ දෙවැනි වර පන්දුවට පහරදුන් කණ්ඩායම විසිනි.

මේ දක්වා සූරියවැව ක්‍රීඩාංගණයේ තරග 19කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ජයග්‍රහණ 8ක් ද වාර්තා කර තිබේ. තවත් තරග 8ක් පරාජයට පත්වූ අතර ඉතිරි තරග 3ම විසඳුමකින් තොරව නිමාවට පත්විය.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ කිසිදු වෙනස්කමක් සිදු නොවන බව ඊයේ සූරියවැව පිටියේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළේය.

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය එක් කඩුල්ලකින් ජයගත් ශ්‍රී ලංකා පිල ඉහළ මානසිකත්වයකින් පසුවන අතර පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් ද සිය සුපුරුදු රිද්මයට අවතීරණ වී සිටිති. පළමු තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නායක දිමුත් කරුණාරත්න මෙන්ම අවිශ්ක ප්‍රනාන්දු ද අර්ධ ශතක රැස් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර අද තරගයේදී සාර්ථක පිතිහරඹයක නිරතවීමේ අදිටනින් පසුවෙති. අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගිය යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග කෙරෙහි අද කොදෙව් පිලේ වැඩි අවධානයක් යොමු වනු ඇත.

පළමු තරගයේදී කොදෙව් ආරම්භක පිතිකරු ෂායි හෝප් ශතකයක් රැස් කිරීමට සමත්වූවත් සෙසු පිතිකරුවන් වැඩි විශ්වාසනීයත්වයකින් තොරව පන්දුවට පහරදීම හේතුවෙන් අද තරගයේදී වැඩි වගකීමක් ඔවුන් සතුව තිබේ.

නුපුරුදු ක්‍රීඩා පිටියක අද පළමුවරට ක්‍රීඩා කරන කොදෙව් පිලට එක්දින තරගාවලියේ තව දුරටත් රැඳී සිටීමට නම් අද තරගය ජයගත යුතුව ඇති බැවින් වැඩි පීඩනය පැටවී ඇත්තේ කොදෙව් පිල මතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *