69වැනි ගුවන් හමුදා සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 69වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් මාර්තු මාස මුල් සතියේ දී වැඩසටහන් මාලාවක් සංවිධාන කර ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල සුමංගල ඩයස් මහතා පැවසීය.

මේ වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද(26) ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්වුනි.

ශ්‍රී ලංකාව තුළ ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය 1951 මාර්තු 02වනදා රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමඟ සිදුවිය. ඉන් අනතුරුව 1972 මාර්තු 02වනදා රාජකීය ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් කෙරින. ලක්මව සුරකින්නට ‘සුරකිමු ලකඹර‘ උදෘත පාඨය කර ගනිමින් වසර 69ක් පුරා සිය මෙහෙවර මව් බිම වෙනුවෙන් නිසි ලෙස ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකිවිය.

ගුවන් හමුදා සංවත්සර දිනය වෙනුවෙනු මාර්තු මස 01වනදා කැළණිය රජමහා විහාරයේ දී පිච්චමල් පූජාවක් සිදු කෙරේ. එසේම සංවත්සරය යෙදෙන මාර්තු 02වනදා සියලු ගුවන්හමුදා කඳවුරුවල ආචාර පෙලපාලියක් පැවැත්වෙන අතර රුක් රෝපණ වැඩසටහන් සහ ප්‍රජා සත්කාර ව්‍යාපෘති රැසක් ද සිදු කරනු ලැබේ.

මීට අමතරව දියතලාව ගුවන් හමුදා කඳවුරේ දායකත්වය සපයමින් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට එක්වන බැතිමතුන් විසින් අවට පරිසරයට මුදාහරිනු ලබන කුණු කසල ඉවත් කොට ශ්‍රීපාදස්ථානය හා අවට පිවිසුම් මර්ගය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ද දියත් කෙරේ. ගුවන් හමුදා ධජය ඇතුළු සියලුම කඳවුරු නියෝජනය කරන ධජයන් ආශිර්වාද ගැන්වීමේ පූජෝත්සවය මාර්තු මස 06වනදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සංවත්සරයට සමගාමීව මෙවර 21වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 05, 06 සහ 07 දිනවල දී පැවැත්වේ. පාපැදි ක්‍රීඩාව ශ්‍රී ලංකා තුළ ප්‍රචලිත කරමින් ව්‍යාප්ත කිරීම හා පාපැදි තරගකරුවන් අතර තරගකාරීත්වය ඇතිකිරීම මෙම පාපැදි සවාරියේ ප්‍රධාන අරමුණ බව ගුවන්හමුදාපතිවරයා සදහන් කළේය. මෙම තරගය ජාතික පාපැදි සම්මේලනයේ නීති රීතිවලට, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා අධික්‍ෂණය යටතේ පවත්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාපැදි තරගකරුවන් 150කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය. එසේම අන්තර්ජාතික පාපැදිකරුවන්ගේ සහභාගීත්වය ද අපේක්‍ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *