තුනෙන් දෙකක බහුතර ජනවරමක් ලබා ගැනීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටළු ඉවත් කොට නව ව්‍යවස්ථාවක් සකස් කරමින් රට ඉදිරියට ගෙන යාම සදහා තුනෙන් දෙකක බහුතර ජනවරමක් ලබා ගැනීමට ඉදිරි මැතිවරණයේදී කටයුතු කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ පසුගියදා (29) වත්තල, බෝපිටිය පමණුගම කොට්ඨාශයේ ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ නිමල් ලන්සා මහතා, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටළු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අතර බල අරගල රාශියක් සිදුවූවා මිස රට සංවර්ධනය කරා ගෙන යාමට නොහැකි වුණා. රටේ ජනතාවගේ වාසනාවකට වත්මන් ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සහෝදරයින් වීම හේතුවෙන් මනා අවබෝධයකින් යුතුව ව්‍යවස්ථා බල අරගලයකින් තොරව රට ඉදිරියට ගෙන යමින් සිටිනවා.

අපට පාර්ලිමේන්තුවේ සුළුතරය බලයක් පවතින හෙයින් රටේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා. ආසන්නම සිදුවීම නම් පසුගියදා යහ පාලන රජයේ ණය ගෙවීම සහ රජයේ ඉදිරි කටයුතු සදහා ඉදිරිපත් කළ අතුරු සම්මත යෝජනාවට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණා. මේ නිසා වත්මන් රජයේ දැක්ම ඉදිරියට ගෙන යාමට බාධා පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුව විසිරුවිය හැකි ආසන්නම දිනය වන මාර්තු 02 වන දින පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.එම මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජනවරමක් ලබා දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉදිරි දැක්ම ක්‍රියාවට නැංවීමට සහය ලබා දෙන්නැයි නිමල් ලාන්සා මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරණයකට වඩා මහ මැතිවරණයකදී ජන්දය ප්‍රකාශ කිරීම පහළ මට්ටමක පවතින අතර පසුගිය මැතිවරණ සලකා බැලීමේදී ජයග්‍රහණය කළ පක්ෂයේ ජන්ද සියයට දහයකින් පමණත් පරාජයට පත් පක්ෂය සියයට විසි පහකින් පමණත් ජන්දපදනම අඩුවීම සාමන්‍ය ක්‍රමය වූවත් ඉදිරි මහ මැතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයට එක් කොට්ඨාශයකින් ලැබුණු ජන්ද සංඛ්‍යාවට වඩා සියයට හතරකින් ජන්ද පදනම ඉහල නැංවීම අපේ ඉලක්කයයි. ඒ සදහා මැතිවරණ ව්‍යාපාරය ලංකාව පූර ක්‍රියාත්මක කිරීමට නියමිත බව නිමල් ලන්සා මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතාගේ ආශිර්වාදය ඇතිව ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආසන 13 ක් දිනා ගැනීම අපේ අරමුණයි. මහපොළවේ ජනතාව සමග දේශපාලනය කරන අයට මෙම දේශපාලන ක්‍රමය තුළ රැදී සිටිය හැකි වූවත් එලෙස නොවන සියලු දෙනාට මෙම දේශපාලන ක්‍රමය තුළ රැදී සිටීම තාවකාලික බවනිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + one =