වත්තල හේමාස් රෝහල ශ්‍රී ලංකාවේ අති නවීනතම ස්නායු රෝග විනිශ්චය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදුන් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය හිමි මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් සමූහය වන හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ අතිනවීනතම ස්නායු රෝග විනිශ්චය කිරීමේ මධ්‍යස්ථානය පසුගියදා සිය වත්තල හේමාස් රෝහලේදී විවෘත කරන ලදී. ස්නායු රෝග සේවා සඳහා පූර්ණ රෝග විනිශ්චය කිරීමේ විසඳුමක දැඩි අවශ්‍යතාවය සහ එහි සේවා කළඹ පුළුල් කර තිරසාර තාක්ෂණික නවෝත්පාදනයන් සමඟ ඉදිරියට යෑමේ හේමාස් රෝහල් සමුහයේ දැක්ම නැවත වරක් මෙයින් පිළිබිඹු කෙරෙනු ඇත.

රෝහලේ පළමු මහලේ ස්ථාපිත කර ඇති නව ඒකකය මගින් විශේෂිත ස්නායු රෝග විනිශ්චය කිරීමේ නවතම වෛද්‍ය උපාංග සහ සේවා ලබා දෙනු ඇති අතර එමගින් මොළය සුසුම්නාව හා පර්යන්ත ස්නායු වලින් පැනනගින විද්‍යුත් ක‍්‍රියාකාරකම් වාර්තා/පටිගත කිරීමට තාක්ෂණවේදින්ට හැකි වනු ඇත. මෙම ඒකකය තුළ විද්‍යුත් විච්ඡේදනය (electromyography) හෝ ස්නායු සන්නයනය අධ්‍යනය (nerve conduction study), විද්‍යුත් නිකර්පරරේඛය (electroencephalogram), නින්ද අධ්‍යයන, MRI ස්කෑන්, BSER පරීක්‍ෂණ, VEP පරීක්‍ෂණ හා SEP පරීක්‍ෂණ ආදියෙන් සමන්විත වෙයි.

නව ස්නායු රෝග විනිශ්චය කිරීමේ ඒකකය විවෘත කිරීමේ උත්සවයට හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය ලකිත් පීරිස් මහතා විශේෂඥ ස්නායු වෛද්‍ය කමල් ගුණරත්න මහතා වත්තල හේමාස් රෝහලේ අධ්‍යක්ෂක/සාමාන්‍යාධිකාරී වෛද්‍ය ලසන්ත කරුණාසේකර යන මහත්වරුන් ඇතුළුව රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වූහ.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් හැඳල පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය හිග්ගොඩ සද්දානන්ද හිමි විසින් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව මෙම නිල උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරිනි.

‘‘මාංශ පේශී දුර්වල වීම (muscular dystrophy), අපස්මාරය හා මොළයේ රෝග වැනි ස්නායු රෝග සම්බන්ධ තත්වයන්ට ඵලදායී ලෙස ප‍්‍රතිකාර කිරීම ප‍්‍රවර්ධනය කිරීමට සහ ස්නායු පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය විශ්ලේෂණය හා අධික්ෂණය කිරීමට ඉහළ හැකියාවකින් යුතු මෙම ස්නායු රෝග විනිශ්චය කිරීමේ ඒකකය රෝහල තුල ස්ථාපිත කර තිබෙනවා. හේමාස් රෝහල් ජාලය විසින් කොළඹ නගර සීමාවෙන් පිටත ජීවත් වන ජනතාවට ඉහළ තත්වයේ දැරිය හැකි සුව සේවාවක් ලබා දීම යන අරමුණ පෙරදැරිව ගන්නා ලද තවත් එක් වැදගත් පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකියි. එමෙන්ම මෙම උත්සාහය යතාර්ථයක් බවට පත් කර ගැනීමට සහය දැක් වූ සියලූම රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට මම මේ අවස්ථාවේදී බෙහෙවින්ම කෘතඥ වෙමි’’ යනුවෙන් ආචාර්ය පීරිස් මහතා පැවසුවේය.

අතිනවීන වෛද්‍ය තාක්ෂණය යොදා ගනිමින් නවීනතම හා වඩාත් ඵලදායීත්වයෙන් යුතු ප‍්‍රතිකාර හඳුන්වා දීම මගින් රෝහල් ජාලයේ කීර්තිනාමය ශක්තිමත් කිරීමට ද මෙම පියවර ඉවහල් වනු ඇතx මෙම නව විසඳුම් හඳුන්වා දීමට ඇති දැඩි ආශාව නිසා හේමාස් රෝහල් සමූහය විසින් හේමාස් හෙල්ත් ඇප් (Hemas Health App), ලයිව් ට‍්‍රැක් පහසුකම (the Live Track), අන්තර්ජාල ඔසුසල හා ඩිජිටල් රසායනාගාර පිවිසුම වැනි නව ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන් කිහිපයක්ම හඳුන්වා දී ඇත. එමෙන්ම සිය රෝහල් හා රසායනාගාර ජාලය තුළ මෑතකදී ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තා (EHR) පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් රෝහල බවට පත්වීමට එය උපකාරී වනු ඇත.

වර්ෂ 2008 දී ආරම්භ කරන ලද හේමාස් රෝහල් ජාලයේ පළමුවැන්න වත්තලත් එහි දෙවැන්න තලවතුගොඩත් ස්ථාපිත කර ඇත. ශ්‍රී ලංකාවේ උසස් ප‍්‍රමිතියකින් යුත් සේවාවක් ලබා දෙන හේමාස් රෝහල් ජාලය පුළුල් ශල්‍ය හා වෛද්‍ය විශේෂඥතාවයන් සපයන අතර දිවයින පුරා රසායනාගාර ජාලයක් ද ක‍්‍රියාත්මක කරනු ලබයි. වත්මන් මූල්‍ය වර්ෂය තුළ දේශීය හා ජාත්‍යන්තර සම්මාන 20ක් දිනා ගනිමින් වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන හිමි කර ගෙන ඇති රෝහල් ජාලය හේමාස් රෝහල් ජාලය වෙයි.

හේමාස් රෝහල මේ වන විට සමාජ සද්කාරමය ක‍්‍රියාවලින් රැසක් ද සිදුකරමින් සිටී. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා කටයුතු කාර්යාංශයත් සමග ක‍්‍රියාත්මක වන ‘‘පියවර” වැඩසටහනින් මේ වන විට රුපියල් මිලියන 400 ක වියදමකින් ගුරුවරුන් 140 කට වැඩි ප‍්‍රමාණයක් හා ළමුන් 3200 සඳහා දිවයින පුරා පෙර පාසල් 53 ක් ඉදිකර ඇති අතර ‘‘ආයති” සමාජ සද්කාරමය වැඩසටහන යටතේ කැලණිය විශ්විද්‍යාලය, මාස් හෝල්ඩින්ග්ස් සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ආබාධිත දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 650 ක වියදමකින් රාගම රෝහලේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *