ඩිජිටල් යුගයට සරිලන ඉහළ මට්ටමේ නිපුණතාවන්ගෙන් සන්නද්ධ පිරිසක් නිර්මාණය කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – නවීන ඩිජිටල් යුගයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදී ඉහළ මට්ටමේ නිපුණතාවන්ගෙන් සන්නද්ධ පිරිසක් නිර්මාණය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

තාක්ෂණය පාදක කරගත් ආර්ථිකයක ඉහළ රැකියා සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය ජනතාවට පහසු කිරීමේ අභියෝගය තම රජය භාර ගෙන ඇති බව ජනාධිපතිතුමා සදහන් කළේය.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතයන් සමග ජනාධිපතිකාර්යාලයේ පැවැති සංවාදයකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළකළේය. Global Sourcing Association විසින් ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගමයට පිරිනමන ලද ‟The Delivery Destination of the Year” සම්මානය සංගමයේ සභාපති රනිල් රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වූවාය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අප මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝග කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවයි. පසුගිය කාලයේ ආරක්ෂක ගැටලු බොහොමයක් උද්ගත වූයේ වරප්‍රසාද නොමැති ජන කොටස් ආර්ථික සූරාකෑමට ලක්වීම නිසා බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජාතිය , ආගම , භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික අවස්ථා සැලසිය හැකිනම් මෙවැනි භේද යළි මතු නොවනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *