තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අද (06) සිට ලබන16 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය නිලධාරීන් 2019 ඡන්ද ලේඛනය අනුව තම අයදුම්පත් සකස් කොට ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ චන්න පී. සිල්වා මහතා සදහන් කළේය.

ඊට අදාළ අයදුම්පත් මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

තැපැල් ඡන්ද පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලත් නිලධාරීන්ගේ අයදුම්පත් හය ලක්ෂයක් පමණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම, මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු ලක්ෂ දෙකක පමණ කාර්ය මණ්ඩලයක් යෙදවීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් නිසි ලෙස පිරවීමට සහාය දීම සඳහා කොමිෂන් සභාව විසින් බත්තරමුල්ල සෙත්සිරිපාය, නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලය, මාළිගාවත්තේ ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය, තැපැල් මූලස්ථානය හා බත්තරමුල්ල ඉසුරුපායේ උපකාරක සේවා මධ්‍යස්ථාන පිහිටුවනු ලබන අතර එම ස්ථානවලට මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩල යොදවන බවද චන්න පී. සිල්වා මහතා සඳහන් කළේය.

තැපැල් ඡන්ද විමසීමේ අවසන් දිනය මෙවර කිසිසේත්ම දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − sixteen =