ඔලිම්පික් ශූරියට සිව් වසර තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 3000 කාන්තා බාධක දිවිමේ රන් පදක්කම් දිනාගත් රූත් ජෙබෙට් ක්‍රීඩිකාවට වසර හතරක තහනමක් පැනවූ බව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පවසයි.

කෙන්යාවේ උපත ලැබූ නමුත් බහරේනය වෙනුවෙන් තරඟ කළ 23 හැවිරිදි රූත්ගේ රුධිර සාම්පලයක එරිත්රොපොයිටින් තහනම් ඖෂධ සංඝටක අඩංගුවී ඇත.

ඇයගේ රුධිර සාම්පලයක් 2017 වසරේ දෙසැම්බර් මාසයේදී ලබාගෙන ඇති අතර පරීක්ෂා කිරීමේදී තහනම් ඖෂධ සංඝටක තිබී ඇත. එම නියැදිය තරග කාලයෙන් බැහැරව සිටියදී ලබා ගැනීම විශේෂත්වයකි. මේ හේතුවෙන් 2018 පෙබරවාරි 4 වන දින සිට තාවකාලික අත්හිටුවීමක් ලබා දී තිබූ අතර තමා කිසි විටෙකත් හිතාමතාම එම ද්‍රව්‍යය ලබා නොගත් බව ඇය විනය විනිශ්චය සභාව හමුවේ පැවැසූවාය.

එහෙත් ඇය තහනම් උත්තේජක ලබා ගැනීම හිතාමතාම සිදු කළ බව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පරීක්ෂණ ඒකකය තහවුරු කොට ඇත. මෙම තීරණය ප්‍රකාශ කිරීමට වසර 2කට ආසන්න කාලයක් ගතවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *